කූට ලේඛන සැකසූ නිලධාරින් පිරිසක් සොයා පොලිස් විමර්ශන
August 10, 2023 06:20 pm
කූට ලේඛන සකස් කර කොටස් එකලස් කරන ලද වාහන අලෙවි කළ පුද්ගලයකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් පසුගියදා කඩවත ගණේමුල්ල පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.
ඊට අදාළව සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණ වී තිබුණේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ ප්‍රධාන ලිපිකරු සතු පෙජරෝ වර්ගයේ ජීප් රථය ද එලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කර භාවිත කරන රථයක් බවය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් දීර්ඝ විමර්ශනයක් සිදුකර තිබේ.
එහි දී හෙළි වී ඇත්තේ, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එහි පරිගණකවල දත්ත වෙනස් කර කොටස් එකලස් කරන ලද මෝටර් රථ 400කට අධික ප්‍රමාණයක් මෙලෙස ලියාපදිංචිකර ඇති බවයි.
ඒ අනුව අදාළ නිලධාරීන් කණ්ඩායම ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කර ඇත.