දැවැන්ත ආහාර ජාවාරමක් උකුස්සා හෙළිකරයි
August 5, 2023 07:40 pm
රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් සහ තිරිඟු පිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය තොගයක් සහිත ගබඩාවකට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (04) මුද්‍රා තැබීය.
එය එම අධිකාරිය විසින් සිදුකළ විශාලතම වැටලීම වන අතර උකුස්සාගේ අද (05) අනාවරණය ඒ පිළිබඳවය.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික ටින්මාළු සහ හතු ඇතුළත් ටින් 80,000ක පමණ ප්‍රමාණයක් වත්තල, හැඳල ප්‍රදේශයේ ගබඩාවක නැවත ඇසුරුම්කර වෙළෙඳපොළට මුදාහැරීමට සූදානම්වන බවට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව, "අද දෙරණ උකුස්සා" පාරිභෝගික සේවා අධිකාරීයේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් සමග ඊයේ පස්වරුවේ එම ස්ථානය වටලනු ලැබීය.
එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු අදාළ ටින් මාළු තොගය සහ හතු තොගය සොයාගත්තේය.
අනතුරුව වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී දැක ගත හැකිවුණේ මෙහි කල්ඉකුත් වූ ආනයනික බාස්මති ඇතුළු සහල් වර්ග නිෂ්පාදිත හා කල්ඉකුත් වූ දින වෙනස් කර වෙළෙඳපොළට නිකුත් කරන බවය.
එමෙන්ම බැලූ බැල්මට කිවහැකි මිනිස් පරිභෝජනයට අල්පමාත්‍රයක්වත් සුදුසු නොවන පරිප්පු තොගයක් ද පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගත්තේය.
ඒ, සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී දැකගත හැකිවුණේ ඒවායේ සිටින සතුන් ඉවත් කිරීම සඳහා මිනිස් ශරීරයට නුසුදුසු කෘමි නාශක ද යොදා ඇති බවය.
මේ අතර කල් ඉකුත් වූ කොත්තමල්ලි තොගයක්ද අදාළ ගබඩාවේ තිබී සොයාගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සමත් විය.
එමෙන්ම එහි තිබූ එක්ස්ට්‍රා වර්ජින් ඔයිල්වල තත්ත්වය ද එසේමය.
මෙහි වූ පාන් පිටිවල ගුල්ලන් ඉතා බහුල වශයෙන් සිටින අයුරුද දැකගත හැකිවුණි.
මේවා කොළඹ හතරවැනි හරස්වීදියේ සුප්‍රකට වෙළඳසැලක් හිමි පුද්ගලයෙකුට අයිති බවද මෙහිදී අනාවරණ වුණි.
අනතුරුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ ආහාර ද්‍රව්‍යවල සාම්පල ලබාගෙන ඒවා රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට පියවර ගත්තේය.
එමෙන් අදාළ ගබඩාවට තාවකාලිකව මුද්‍රා තැබීමටද ඔවුන් කටයුතු කළේය.
මෙහිදී මුද්‍රා තැබූ ගබඩාවේ වූ ආහාර ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 50කට අධික වන අතර එය එම අධිකාරිය විසින් සිදුකළ විශාලතම වැටලීම බව වාර්තා වෙයි.
ඉදිරියේදීත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් රට හමුවේ අනාවරණ කිරීමට "අද දෙරණ" උකුස්සා සීරුවෙනි.