රුපියල් කෝටි 100ක මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරුවන් කොටුවෙයි

රුපියල් කෝටි 100ක මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරුවන් කොටුවෙයි

July 27, 2023   07:35 pm

සුවඳ විලවුන් නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලෙස හඟවමින් කෘත්‍රීම ගංජා කිලෝග්‍රෑම් 30ක් සහ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා ඇම්පිටමින් රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් මෙරටට ගෙන්වූ පුද්ගලයින් 06 දෙනෙකු අද (27) අත්අඩංගුවට ගැනුණි.

ඒවායෙහි මුළු වටිනාකම රුපියල් කෝටි සියයකට අධිකය.

සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් නිදහස් කරගැනීමට අවශ්‍ය බව පවසා මෙම සැකකරුවන් 06 දෙනාගෙන් තිදෙනෙක් අද (27) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී එම භාණ්ඩ තොගයේ ඇත්තේ කෘත්‍රිම ගංජා කිලෝග්‍රෑම් 30ක් බව හඳුනාගැනුණු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 75ක් ලෙස ගණන් බලා තිබුණි.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් දෙමටගොඩ පදිංචිකරුවන් වන එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

එහිදී අනාවරණ වී ඇත්තේ, චීනයේ සිට රුසියානු ජාතිකයෙක් මෙම මත්ද්‍රව්‍ය තොගය එවා ඇති බවය.

එමෙන්ම, මීට පෙරද අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා ඇම්පිටමින් රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් එවා ඇති බවත්, කොළඹ ඕල්කට් මාවතේ වෙළෙඳසැලක ගබඩා කර තිබූ එම රසායනික ද්‍රව්‍ය තොගය දෙහිවල පිහිටි සිය හෝටලයකට ලොරි රථයක් කුලියට ගෙන රැගෙන යන ලෙසට සිය ගෝලයින් දෙදෙනෙකුට උපදෙස් දුන් බවත්, එක් සැකකරුවෙක් පවසා තිබේ.

ඒ අනුව වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසලදී අදාළ ලොරි රථය සහ රියදුරු ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනුණි.

එම ඇම්පිටමින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 100 කි.

සුවඳ විලවුන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙරට ආරම්භ කිරීම සඳහා අදාළ රුසියානු ජාතිකයා මෙම සියලු ද්‍රව්‍ය මෙරටට එවා ඇති බව සැකකරුවන් පැවසුවත්, එවැනි කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා අවසරදී නැතැයි පොලීසිය පවසයි.

එමෙන්ම ඇම්පිටමින් රසායනිකය මෙරටට ගෙන ඒම ද නීතියෙන් තහනම් වෙයි.

අත්අඩංගුවට ගත් කෘත්‍රීම ගංජා සහ ඇම්පිටමින් සාම්පල විමර්ශන සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත යොමු කර තිබේ.