පුරන් කුඹුරු අස්වැද්දීමට අක්කරයකට රුපියල් 36,000ක්
July 25, 2023 03:05 pm
දිවයිනේ මේ වනවිට ඇති පුරන් කුඹුරු අස්වැද්දීමට පියවර ගන්නා පුද්ගලයින්හට මුලික බිම් සැකසීම සඳහා මුල්‍ය සහනාධාරයක් ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව පුරන් කුඹුරු අක්කරයක මුලික බිම් සැකසීම සඳහා රුපියල් 36,000ක මුදලක් සහනාධාරයක් වශයෙන් ලබා දීමට තීරණය කර තිබේ.
අප රටේ වැඩිපුරම පුරන් කුඹුරු දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාතෙනි. දැනට වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 40,000ක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව පෙනීයයි.
මින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ ඇති සමස්ත පුරන් කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 2,749කි. ඉන් වගා කළ නොහැකි කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 1,012ක් වේ.
පුරන් කුඹුරු වාර්තාවීමට ප්‍රධාන හේතුව අස්වැන්න අඩු නිසා ආර්ථික වශයෙන් ලාභදායී නොවන බැවින් වගා කිරීම අත්හැර දැමීම, ශ්‍රම හිඟය හා කුඹුරු අයිතිකරුවන් විදේශගතවීම මෙන්ම ඇතැම් කුඹුරු ජලය බැස නොයාම නිසා වගුරු බවට පත්වීමයි. මේ හේතුවෙන් නාගරික ප්‍රදේශවල ඇති කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන් කුඹුරු බවට පත් වී තිබේ.
මෙම කුඹුරු වගා කිරීම අයිතිකරුවන්ගේ වගකීමකි. ඔවුන් විසින් වගා නොකරන්නේ නම් ගොවිජන සේවා පනත යටතේ එම කුඹුරු ඉඩම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා ගෙන වගා කළ හැකි පුද්ගලයින්ට පැවරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට බලතල තිබේ.
මේ අතර බස්නාහිර පළාතේ ඇතැම් පුරන් කුඹුරු මෙන්ම වගා කටයුතු සිදුවෙන කුඹුරු ද සෝජාන් ක්‍රමය යටතේ එළවළු හා පලතුරු මෙන්ම මත්ස්‍ය වගාව සඳහා ද මේ වනවිට යොදා ගෙන ඇත.
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා වගා කළ හැකි හැම ඉඩමක්ම වගා කිරීම රජයේ ප්‍රතිපත්තිය වන බැවින් මෙම පුරන් කුඹුරු ද වගා කිරීම සඳහා රජය සම්පූර්ණ සහයෝගය දක්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
2023 වසරේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා රුපියල් මිලියන 430ක මුදලක් රජය විසින් වෙන් කර තිබේ.
ඒ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීමට කටයුතු කරන පුද්ගලයින්ට මුලික බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් 36,000ක මුදලක් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.