නුදුරේදීම ජනතා අයිතියට පත්වන අධිවේගී ගුවන් මාර්ගය

නුදුරේදීම ජනතා අයිතියට පත්වන අධිවේගී ගුවන් මාර්ගය

July 9, 2023   06:59 pm

ලබන වසරේ සැප්තැම්බර් අගවන විට කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තුවන බව මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවය.

කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා අද (09) දිනයේ පරීක්ෂණ දුම්රියක් ධාවනය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොළගේ මහතා පැවසුවේය.

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් පසුගිය ජනවාරි මස 8 වැනි දින සිට කොළඹ සිට අනුරාධපුරය දක්වා දුම්රිය ධාවනය සීමා කර තිබේ.

නවීකරණය කළ දුම්රිය මාර්ගය කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

ඉන්දීය ණය ආධාර යටතේ මෙම දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදුකර තිබේ.