කොළඹ 07 නිවසකට දෙපිරිසක් ඇන කොටාගෙන
July 8, 2023 07:23 pm
කොළඹ 07 බාන්ස් පෙදෙසේ නිවසක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර හටගත් ආරවුලක් දුරදිග යෑමෙන් ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කුරුඳුවත්ත පොලීසිය විසින් පුද්ගලයින් 26 දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සැකකරන්නේ ඔවුන් දෙපිරිසටම අදාළ නිවසෙහි හිමිකාරීත්වය නොමැති බැවින් ඔවුන් එය අයිති කරගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇතිකරගෙන ඇති බවය.
කොළඹ 07 බාන්ස් පෙදෙසේ පිහිටි නිවසක ඊයේ (07) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුවී ඇති බවට කුරුඳුවත්ත පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර ඒ යනවිටත් දෙපිරිස අතර ආරවුලක් පැවැති බව වාර්තා වෙයි.
පසුව පොලීසිය මැදිහත්වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ.
අනතුරුව පොලීසිය සිදුකළ සොයැබීලීමේදී අනාවරණය වී ඇත්තේ අක්කර භාගයක පමණ වපසරියක් ඇති මෙම නිවස හිමිකර ගැනීමට සඳහා දෙපාර්ශ්වයක් උත්සාහ දැරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය.
පසුව තත්ත්වය පාලනය කිරීමෙන් පසු පොලීසිය විසින් දෙපාර්ශ්වයේම පුද්ගලයන් 26 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අතර සිටි කිහිප දෙනෙකු අසල පිහිටි නිවෙස්වෙත පැනගොස් සිටි අතර පොලීසිය ඔවුන්ව ද අත්අඩංගුවට ගත්තේය.
ඒ අනුව සැකකරුවන් පිරිස අද (08) අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.