විදෙස් රටවලින් ලැබුණු අනෙක් ඇතුන්ට කුමක් වෙයිද?

විදෙස් රටවලින් ලැබුණු අනෙක් ඇතුන්ට කුමක් වෙයිද?

July 6, 2023   04:33 pm

මෙරට ජීවත් වන හීලෑ අලි ඇතුන්ගේ සුබසාධනය සහ ඔවුන් රැක බලාගැනීම පිළිබඳ ඇති වී ඇති සංවාදය අද ඊයේ ඇති වූවක් නො වේ. ලාංකේය සංස්කෘතික සංදර්භයට අලියා සහ ඇතා දක්වන්නේ, අවියෝජනීය සබඳතාවකි. 

ඇතා යනු, මෙරට සංස්කෘතිය තුළ සශ්‍රීකත්වය හා සෞභාග්‍යය සංකේතවත් කරන වස්තුවකි. තවත් ආකාරයකට එය රාජ්‍යත්වය ද පිළිබිඹු කරන්නකි. මඟුල් ඇතා යනු, රජුගේ නිල හස්තියා ය. දුටුගැමුණු රජුගේ නිල හස්තියා වූයේ, කණ්ඩුල ඇතා ය. එසේම ආරක්ෂක සේනාංකවලට ද අයත් නිල අලින් හා ඇතුන් සිටින බව හඳුනා ගත හැකි ය. 

මෙරට සිටිනා අලින් හා ඇතුන් ආකාර දෙකකින් ලැබුණු බව හඳුනාගත හැකි ය. එකක් නම්, විදේශ රාජ්‍යයන්ගෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු අලින් සහ ඇතුන් ය. අනෙක නම් මෙරට දී ම අල්ලාගෙන හෝ අල්ලාගත් අලින්ගෙන් ලැබුණු පැටවුන්ගෙන් හීලෑ කර ගත් සතුන් ය. 

පෙරහර සංස්කෘතියට අත්‍යවශ්‍ය ම සත්ත්වයකු ලෙස අලියා සහ ඇතා හඳුනාගත හැකි අතර, ශ්‍ර්‍රි ද මාළිගාවේ ඇත් පන්තිය ඒ අතර සුවිශේෂ ය. මීට අමතර ව රුහුණු කතරගම පෙරහර, සමන් දේවාල පෙරහර ආදියට ද අලි ඇතුන්ගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය එකකි.

මෙවැනි තත්ත්වයක් පැවතුණ ද මෙරට තුළ අලි ඇතුන්ගේ සුබසාධනය පිළිබඳ යහපත් තත්ත්වයක් අපේක්ෂා කිරීම උගහට වී ඇත. විශේෂයෙන් මෑතක දී කරළියට පැමිණි මුතුරාජා හස්තියාගේ සිදුවීම තුළින් උක්ත කාරණය මොනවට පැහැදිලි වෙයි. 

මුතුරාජා හස්තියා තායිලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වන්නේ, 2001 වර්ෂයේ දී ය. මුතුරාජාට තායිලන්තයෙන් හිමි ව තිබූ නම 'සක්සුරීන්' වන අතර, ලංකාවට පැමිණෙන විට සක්සුරීන් වයස අවුරුදු 6ක පමණ කුඩා ඇත් පැටවෙකි. 

මුතුරාජා අලුත්ගම කන්දේ විහාරය සිය වාසස්ථානය කොටගෙන වාසය කළ අතර, ලාංකේය පෙරහර සංස්කෘතිය විචිත්‍රවත් කිරීම සඳහා අවස්ථා කිහිපයක දී ම ස්වකීය තේජස් ඇත් ගමන පෑවේ ය.

නමුත් මුතුරාජා පිළිබඳ කළු පැහැති ආරංචි සෙමෙන් සෙමෙන් පැතිරෙන්නට විය. වරෙක මහනුවර දළදා පෙරහරේ ගමන් ගන්නා විට මුතුරාජාගේ ගමන් විලාසයේ යම් අසාමාන්‍ය ස්වරූපයක් සත්ත්ව සුබසාධන ආයතනයක් වන "Rally for Animal Rights and Environment (RARE)" සංවිධානයට නිරීක්ෂණය වී ඇත. 

එසේ ම මුතුරාජා හස්තිය පිළිබඳ පැමිණිලි ගණනාවක් ම සිය සංවිධානයට වරින් වර ලැබුණු බව ද එම සංවිධානය "අද දෙරණ" සමඟ පැවසීය. එම සංවිධානයේ සභාපති පංචාලි පනාපිටිය අප සමඟ පැවසුවේ, අලුත්ගම කන්දේ විහාරය අවට සිටින විවිධ පුද්ගලයන්ගෙන් මෙන්ම කන්දේ විහාරය වැඳ පුදා ගැනීමට එන බැතිමතුන්ගෙන් ද මුතුරාජාගේ සුබ සාධනය පිළිබඳ නොයෙන් පැමිණිලි ලැබුණු බව ය. 

මුතුරාජාගේ සිදුවීම පසුපස ඇති නීතික තර්කය මේ සියලු කාරණාවලට වඩා ප්‍රබල එකක් බව හඳුනා ගත හැකි ය. එම නීතික කාරණය සම්බන්ධ වන්නේ, විදේශ රටවලින් ලැබෙන අලි ඇතුන්ට ය. එනම් විදේශ රටවලින් මෙරටට ලැබෙන අලි ඇතුන් ලියාපදිංචි කිරීම පිළිබඳ ඇති ගැටලුව ය. මුතුරාජාගේ ගැටලුව ඇති වූ අවස්ථාවේ දී ඔහුගේ ප්‍රතිකාරවල වගකීම පිළිබඳ විමසූ විට, වනජීවී දෙපාර්තමේන්තුවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවත් උක්ත කාරණය සිය වගකීම් කලාපයෙන් බැහැර ව පවතින්නක් බව ප්‍රකාශ කළ බව පංචාලි පනාපිටිය පැවසුවාය. 

එනම් මුතුරාජා හස්තියා ව මෙම කිසිදු ආයතනයක නීත්‍යානුකූල ව ලියාපදිංචි කර නැත. එබැවින් ඇතා පිළිබඳ කිසිදු කාරණයක් සඳහා මෙම ආයතනවලට මැදිහත් විය නො හැකි බව අදාළ ආයතන මගින් RARE සංවිධානය දැනුම්වත් කර ඇත. 

මේ පිළිබඳ සොයා බැලීමේදී දැනගැනීමට හැකි වූ තවත් කාරණයක් වන්නේ, යම් අලියකු හෝ ඇතෙකු විදේශ රටකින් ගෙන්වා ගැනීමේ දී ඊට අදාළ බලපත්‍රය පමණක් රාජ්‍ය ආයතන තුළින් සපයන නමුත් සත්ත්වයාගේ ලියාපදිංචියක් එම ආයතන තුළ සිදු නොවන බවය. 

මුතුරාජාගේ වගකීම කිසිදු ආයතනයක් විසින් නො දැරුවේ මෙම නීතික තර්කය නිසා යැයි පෙනීයයි. ඒ අනුව පෙනෙන්නේ, අදාළ රට හා ඇතා හිමි වන පන්සල, පූජා ස්ථානය හෝ වෙනත් මොනයම් ම හෝ ස්ථානයක් සමඟ එකිනෙකා අතර ඇති කර ගත් ගිවිසුමක් විනා වෙනත් බැඳීමක් නීත්‍යානුකූල ලෙස ඇතකු පිළිබඳව නොමැති බවය. 

කන්දේ විහාරය සමඟ තායිලන්ත රජය ඇති කරගත් මුතුරාජා පිළිබඳ ගිවිසුම කඩවූ නිසා මුතුරාජා ව පෙරළා තායිලන්තයට ගෙන්වා ගැනීමට තායිලන්ත රජය කටයුතු කළේ, මෙම තත්ත්වය මත නිසා යැයි කෙනෙකුට උපකල්පනය කළ හැකි ය. තායිලන්ත රජයට මුතුරාජා පිළිබඳ දැනුම්වත් කිරීම ද පහසුවෙන් හා ඉතා කෙටි කාලයකින් කළ එකක් නොවන බවත් එය ලිපි ගණනාවක් හරහා දැනුම්වත් කිරීම තුළින් සිදුකළ දුෂ්කර ව්‍යායාමයක් වූ බවද RARE සංවිධානයේ සභාපතිනි පංචාලි පනාපිටිය "අද දෙරණ" සමඟ පැවසුවාය. 

මෙම කාරණය තුළ ඇති අනෙක් බරපතළ කාරණය වන්නේ, මුතුරාජාගෙන් පමණක් මෙම ක්‍රියාවලිය අවසන් නො වීම ය. මුතුරාජා හැරුණු කොට තවත් ඇතුන් 09 දැනටමත් ලංකාව තුළ ජීවත් වන බව වාර්තා වෙයි. එනම් මේ සියලු ඇතුන් විදේශ රටවලින් මෙරටට ලැබුණු ඇතුන් ය. එම ඇතුන් 09දෙනා පහත පරිදි ය.

තායිලන්තයෙන් ලැබුණු තායි රාජා දළඳා මාළිගාවට අයිති ඇතෙකි. තායිලන්තයෙන් ලැබුණු අනෙක් ඇතා කණ්ඩුල වන අතර, ඔහු කැලණි විහාරයට අයත් ඇතෙකි. කාවේරි රාජා සහ ඉන්දි රාජා ඉන්දියාවෙන් ලැබුණු ඇතුන් දෙදෙනෙක් වන අතර, ඔවුන් දෙදෙනාම අයිති වන්නේ දළදා මාළිගාවට ය. මියන්මාරයෙන් ඇතුන් පස් දෙනෙකු ලැබී ඇති අතර, ඉන් කෝට්ටේ රාජා කෝට්ටේ රජ මහා විහාරයේ ජිවත් වෙයි. මියන් කුමාර ඇතා බෙල්ලන්විල රජ මහා විහාරයට අයත් ඇතකු වන අතර, බුරුම රාජා දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් වූවෙකි. මියන් රාජා ද මියන්මාරයෙන් හිමි වූ ඇතෙකි. මේ අතරින් දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් කාවේරී රාජා පෙරහර කාර්‍යයන් සඳහා යොදා නො ගන්නා බව පංචාලි පනාපිටිය සඳහන් කළා ය. 

මුතුරාජාගේ සිද්ධිය හරහා මෙම සෙසු ඇතුන් 09දෙනා පිළිබඳ යම් අදහසක් ලබා ගැනීම අපහසු නැත. මෙම අනෙක් ඇතුන් දස දෙනා, හිමිකාර විහාරස්ථානයන් මගින් මිය යන තුරු හොඳින් රැක බලා ගන්නවා නම් මෙතැන කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැත. එසේ නොමැති ව ඔවුන්ට යම් ප්‍රතිකාරයක් හෝ හිරිහැරයක් වනවා නම්, ඒ ගැන වගකීමට කිසිදු ආයතනයක් මෙරට තිබෙනවා ද යන්න ගැටලු සහගත ය.

මේ පිළිබඳ වනජීවී සංරක්ෂණ දෙපාර්ත්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාරගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ, විදේශ රටවලින් ලැබුණු සියලු අලි ඇතුන් ලියාපදිංචි කිරීම පිළිබඳ වාර්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව ය. ඒ පිළිබඳව ඕනෑම කෙනෙකුට තොරතුරු ලබාගැනීමේ පනත යටතේ විමසිය හැකි බවද ඔහු සඳහන් කළේ ය. නමුත් ලියාපදිංචි කළ පමණින් අදාළ සත්ත්වයාගේ ජීවිතය පිළිබඳ කරුණුවලට මැදිහත්වීම කළ හැකි දැයි ඇසූ විට අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, ඒ පිළිබඳව අධිකරණමය ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින නිසා ඒ ගැන කරුණු පැවසිය නො හැකි බවය. 

අද (06) පැවති මාධ්‍ය හමුවක දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් සඳහන් කළේ, ඕනෑම අලියකු හෝ ඇතෙකු බැඳ තැබීම නිසි පරිදි සිදු නොවන්නේ නම්, අදාළ සත්ත්වයාගේ බලපත්‍රය අවලංගු කිරීම සිදුකළ හැකි බව ය. නිසි ආකාරයට සත්ත්වයා බැඳ නොතැබීම මහජනතාවගේ ජීවිතවලට බාධාවක් වීම ඊට හේතුව බව ඔහු පැවසීය. 

මෙම කාරණය තුළින් පැහැදිලි වන්නේ, මෙරට සිටිනා විදේශ අලි ඇතුන් සඳහා වනජීවී දෙපාර්ත්මේන්තුවෙන් ලබාදෙන බලපත්‍රයෙන් වැඩක් නැති බවද?