KDU ගැන අධිකරණ නියෝගයක්

KDU ගැන අධිකරණ නියෝගයක්

July 5, 2023   06:55 am

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට කැඩෙට් නොවන නවක සිවිල් සිසුන් බඳවා ගැනීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

එම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා පිළිගනිමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ගෙන් සමත්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබා දී තිබේ.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ සමත් සිසුවකු වන කේ. කේ. ඩී. විමුක්ති ද සිල්වා විසින් එම පෙත්සම ගොනුකර තිබූ බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, එහි කුලපති විශ්‍රාමික ජෙනරාල් ජී.එච් ද සිල්වා, එහි කළමනාකරණ මණ්ඩලයේ සභාපති විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

පෙත්සම්කරු සඳහන් කර තිබුණේ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට උපාධි පාඨමාලා හැදෑරීම සඳහා කැඩට් ඇතුළු ආරක්ෂක අංශ සිසුන්  ඇතුළත් කර ගැණුනු අතර 2012 වසරේ සිට සිවිල් සිසුන්ටද එම උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබා දී තිබූ බවය.

ඒ අනුව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට එම විශ්වවිද්‍යාල පනතේ 4 වන වගන්තියට පටහැනි ලෙස ක්‍රියා කරමින් සිවිල් සිසුන් බඳවා ගැනීම, ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම, පුහුණුව ලබාදීම යනාදී කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන්  වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ධර්මවර්ධන මහතා පෙත්සමට එරෙහිව මූලික විරෝධතා මතු කරමින් පෙත්සම්කරුට එම පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා නීතිමය අයිතියක් නොමැති අතර මෙම පෙත්සමේ අත්‍යවශ්‍ය පාර්ශව වගඋත්තරකරුවන් ලෙස නම්කර නොතිබීම යන කරුණු මුල් කරගෙන එම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.

එම මූලික විරෝධතාව පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය හෝ අතුරු තහනම් නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව සඳහන් කළ අතර ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට තීන්දු කරණ බවත් නිවේදනය කර තිබේ.