NASA විද්‍යාඥ කණ්ඩායමේ පරීක්ෂණ අරඹයි

NASA විද්‍යාඥ කණ්ඩායමේ පරීක්ෂණ අරඹයි

July 3, 2023   08:16 pm

අඟහරු මත පිහිටි පාෂාණ විශේෂයකට සමාන මෙරට පාෂාණ විශේෂයක් පිළිබඳව නාසා ආයතනයේ අවධානය යොමුව ඇති බව "අද දෙරණ ඔන් ටොපික්" තුළින් අප ඊයේ (02) වාර්තා කළේය.

නාසා විද්‍යාඥයින් කණ්ඩායමක්, මොනරාගල ගිනිගල්පැලැස්ස ගම්මානය ආශ්‍රිතව පිහිටි සර්පෙන්ටීන් නැමති එම පාෂාණ විශේෂය පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

නාසා ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් පසුගිය සතියේ දිවයිනට පැමිණියේ, සර්පෙන්ටීන් නැමති එම පාෂාණ විශේෂය පිළිබඳ සොයාබැලීම සඳහාය.

එම පිරිස මොනරාගල, සෙවනගල පිහිටි ගිනිගල්පැලැස්ස ගම්මානය ආශ්‍රිතව පිහිටා ඇති සර්පෙන්ටීන් නැමති පාෂාණ විශේෂය පරීක්ෂාව ආරම්භ කළේය.

ඒ අනුව, ගිනිගල්පැලැස්ස විහාරස්ථානය පිටුපස වනාන්තර කොටස ද අධි සංවේදී උපකරණ භාවිත කර පරීක්ෂා කෙරුණු අතර නියැදි ලබා ගැනීම ද සිදුකරෙුණි.

නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සුනිති කරුණාතිලක මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ඉන්දියාව, අමෙරිකාව, චීනය සහ ඔස්ට්‍රේලියාව යන රටවල මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්ද ඇතුළත්ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය කපුගොල්ලේ ආනන්දකිත්ති ස්වාමීන් වහන්සේ ද මේ සඳහා එක්ව සිටියාය.

ගිනිගල් පැලැස්සේ පිහිටි මෙම සර් පෙන්ටීන් නැමති පාෂාණ වර්ගය පිළිබඳව ආචාර්ය ප්‍රසන්න ලක්ෂිත ධර්මප්‍රිය මහතා ප්‍රමුඛ භූගර්භ විද්‍යාඥයින් පිරිසක් ද පරීක්ෂණ පවත්වා ඇති බව වාර්තා වෙයි.

සිය පරීක්ෂණ හා නිරීක්ෂණ පිළිබඳව විද්‍යාඥයින් පිරිස ගිනිගල්පැලැස්ස කීර්ති කුමාරපුර විද්‍යාලයේදී එහි සිසුන් දැනුම්වත් කිරීමද සිදුකෙරුණි.

මෙම පිරිස ඉදිරියේදී ඉඳිකොළපැලැස්ස, උස්සන්ගොඩ සහ යුදගනාව ඇතුළු ප්‍රදේශවල ද සංචාරය කරමින් එම පාෂාණවල නියැදි ලබා ගැනීමට නියමිතය.