මව් රටට ගිය මුතුරාජා ට ආදරණීය පිළිගැනීමක්

මව් රටට ගිය මුතුරාජා ට ආදරණීය පිළිගැනීමක්

July 2, 2023   09:17 pm

"මුතුරාජා" නැතහොත් "සක්සුරීන්" හස්තියා රැගත් ගුවන් යානය අද (02) දහවල් තායිලන්තයේ බැංකොක් නුවර ෂියැන්ග් මායි ගුවන් තොටුපොළට ළඟා වුණි.

හස්තියාට බැංකොක් ගුවන් තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණි.

හස්තියා‌ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අදහස් දැක්වූ තායිලන්ත ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය වරාවුත් සිල්පා අර්ඛා මහතා, 

"මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තූති කරනවා. ඒ තායිලන්ත ආයතන රැසක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්. සක්සුරීන් ව පන්සලේ සිට සත්වෝද්‍යානය වෙත රැගෙන ඒමට සත්වෝද්‍යානයේ සිට ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට සහාය දීම ගැන. කොළඹ සිට චෙන්ග්මායි වෙත ගුවන්ගමන අපහසුතාවකින් තොරව සිදුවුණා. සක්සුරීන් මනා මානසික සහ ශාරීරික සුවයෙන් පසුවනවා. ඒ නිසා ඔහු අදම ගුවන්තොටුපොළ සිට අලි ඇතුන් රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළා. ඔහු දැඩි පිපාසයකින් පසුවීම සුබ ලකුණක්. ඔහු වැඩි ජල ප්‍රමාණයක් පානය කළා. මීට මිනිත්තු 15කට පෙර ඔහු ලම්පාන්ග් ප්‍රාන්තයේ අලි ඇතුන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා. ඒ ගමනට පැය 2 ක් පමණ ගතවෙයි."

තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමි වූ මුතුරාජා හස්තියා අද යළි තායිලන්තය බලා රැගෙන ගියේය.

ඒ රුසියාවේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනි.

රැකබලාගැනීමේදී පැවති දුර්වලතා නිසා විටින් විට රෝගී වීමේ සිද්ධි පදනම් කරගනිමින් හස්තියා යළි මව් රටට රැගෙන ගියේ වැඩිදුර ප්‍රතිකාර සඳහාය.

තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස 2001 වසරේදී මෙරටට හිමි වූ මුතුරාජා මෙරට සිටි හීලෑ අලි ඇතුන් අතර දිගම දළ යුගල හිමි සද්ධන්තයාය.

මුතුරාජාගේ භාරකාරීත්වය අලුත්ගම කන්දේ විහාරයට හිමිවුණි.

රැකබලාගැනීමේ පැවති ගැටලුකාරී තත්ත්ව හේතුවෙන් මුතුරාජා විටින් විට අසනීප වන බවට මෙරට මෙන්ම විදේශීය පරිසර සංවිධානද අවස්ථා ගණනාවකදී කරුණු හෙළි කළ අතර ඒ අනුව මුතුරාජා අලුත්ගම කන්දේ විහාරයේ සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැගෙන ආවේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් වශයෙනි.

මාස 6කට අධික කාලයක් එහි රඳවා තබාගනිමින් ප්‍රතිකාර කෙරුණු මුතුරාජා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිය මව්රට වන තායිලන්තයට යළි රැගෙන යාමට තීරණය කෙරුණේ ඒ අතරතුර දීය.

ඒ වෙනුවෙන්ම විශේෂ රැඳවුමක් සකස්කිරීම සහ විශේෂ ගුවන් ගමනක්ද සැලසුම් කෙරුණි.

තායිලන්තයට රැගෙන යාම සඳහා මුතුරාජා හස්තියා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා ප්‍රවාහනයට කටයුතු සූදානම් කිරීම ඇරමුණේ ඊයේ රාත්‍රි 11ට පමණි.

හස්තියා රැගෙන යාමේ කටයුත්ත වෙනුවෙන් තායිලන්ත පශු වෛද්‍යවරු දෙදෙනෙක්, හස්ති පාලකයන් සිව්දෙනෙක් ඇතුළු පිරිසක් මෙරටට පැමිණ සිටියහ.

හස්තියා වෙනුවෙන් මෙරටදී නිෂ්පාදනය කළ රැඳවුම විෂබීජ නාශනය කරමින් සුදානම් කළේය.

අනතුරුව හස්තියා විශේෂිත රැඳවුම වෙත යොමුකිරීමේ කටයුතු ආරම්භ කෙරුණි.

විශේෂ ආරක්ෂාවක් යටතේ හස්තියා ගුවන් තොටුපොළ දක්වා ප්‍රවාහනය කිරිම ආරම්භ වු‍ණේ අද අලුයම 1ට පමණය.

අද අලුයම 3 පමණ වන විට මුතුරාජා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය.

මුතුරාජා තායිලන්තය දක්වා ප්‍රවාහනයට සූදානම් කර තිබු‍ණේ රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනි.

එම යානයට වරෙකට අලි තිදෙනෙකු ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතියි.

ගුවන් ගමන වෙනුවෙන් තායිලන්ත රජය දරා ඇති වියදම අම‍ෙරිකානු ඩොලර් ලක්ෂ 7කි.

පැය 5කට අධික කාලයක් ගුවන් ගමනේ යෙදෙන මුතුරාජා ආරක්ෂිත කැමරා මගින් නිරතුරු පරීක්ෂා කිරීමටද කටයුතු යොදා තිබුණි.

තායිලන්ත වෛද්‍යවරු දෙදෙනෙක්, තායිලන්ත හස්ති පාලකයින් සිව්දෙනෙක් සහ ජාතික සත්වෝද්‍යානයේ ප්‍රධාන හස්ති පාලකවරයා හස්තියා රැගෙන යාමේ කටයුත්තට එක්වුණි.

දශක දෙකක කාලයක් මෙරට රැඳී සිටි මුතුරාජා හස්තියා යළි සිය මව් රට වෙත රැගෙන යාමේ ගුවන් ගමන අද පෙරවරු 7.30ට පමණ ආරම්භ වුණි.