උකුස්සාගේ හෙළිදරව්වෙන් පසු ජපුර සිද්ධියට හැරෙන තැපෑලෙන් ප්‍රතිචාර

උකුස්සාගේ හෙළිදරව්වෙන් පසු ජපුර සිද්ධියට හැරෙන තැපෑලෙන් ප්‍රතිචාර

July 1, 2023   08:46 pm

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියදුරන් සිය රාජකාරී කාලය තුළ නොමනා ක්‍රියා සිදුකරන බවට "අද දෙරණ උකුස්සා" ඊයේ (30) අනාවරණය කළේය. 

එම අනාවරණයෙන් පසු රියදුරන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියදුරන්, බීමතින් තම රාජකාරිය පැහැර හරින බවට එහි සේවකයින්ගෙන්ම අද දෙරණ උකුස්සාට තොරතුරක් ලැබුණි.

ඒ අනුව, උකුස්සා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගොස් ඒ පිළිබඳව තොරතුරු සොයාබැලූ අතර නිල ඇඳුමින් සැරසී සිටිය යුතු ගිලන් රථ රියදුරන් තමන්ට රිසි ඇඳුමකින් සැරසී කැරම් ක්‍රීඩා කරමින් සිටින ආකාරයත් රාත්‍රී කාලයේදී බීමතින් ඉතා කලහකාරී ලෙස රෝහල තුළ හැසිරෙන බවත් එහිදී අනාවරණය විය. 

ඒ පිළිබඳව උකුස්සා සිදුකළ අනාවරණයෙන් පසු පැය 24ක් ගතවීමට පෙර ඊට සම්බන්ධ ගිලන් රථ රියදුරන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයා පියවර ගෙන තිබේ. 

රෝහල් අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුත් එම ලිපිවල සඳහන් කර ඇත්තේ, ජනමාධ්‍ය මගින් හෙළිවූ කරුණු පදනම් කොට ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල සහ රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් රියදුරු කාමරය තුළ බීමතින් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධව ආයතන සංග්‍රහයේ සහ ජයවර්ධනපුර රෝහල් මණ්ඩල පනතේ වගන්ති අනුව මෙම වැඩතහනම් කිරීම සිදුකරන බවය. 

එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් යථා කාලයේදී විධිමත් චෝදනා පත්‍රයක් නිකුත් කරන බවත් එම කාලසීමාව තුළදී කිසිඳු වැටුපක් හෝ දීමනාවක් නොගෙවන බවද එහි සඳහන්ය. 

එමෙන්ම ප්‍රතිකාර ගැනීමකට හැරුනු විට වෙනත් කිසිඳු හේතුවකට අධ්‍යක්ෂවරයාගේ අනුමැතියකින් තොරව රෝහල් භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බවත් වැඩතහනම් කිරීමේ ලිපි මගින් ඔවුන්ට දන්වා තිබේ.