නාවලපිටියේ දී මහ දවල් සිදුවු දැවැන්ත සොරකමේ සුලමුල එළියට

නාවලපිටියේ දී මහ දවල් සිදුවු දැවැන්ත සොරකමේ සුලමුල එළියට

June 29, 2023   03:15 pm

නාවලපිටිය ප්‍රදේශයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුත්තකට පෞද්ගලික ආයතනයක් විසින් ගෙනවිත් තිබු කාපට් තලන යන්ත්‍රය ව්‍යාජ ලියකියවිලි සකස් කර අලෙවි කල සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලීසිය මෙහෙයුමක් දියත් කර තිබේ.

රු ලක්ෂ 130ක් පමණ වටිනා මෙම කාපට් තලන යන්ත්‍රය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් ව්‍යාජ ලියකියවිලි සකස් කර එම යන්ත්‍රයේ චැසි අංකයද වෙනස් කර හොරණ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අප්‍රේල් 25 වන දින අලෙවි කර තිබිය දී නාවලපිටිය පොලීසිය විසින් සොයාගෙන ඇත.

නාවලපිටිය බව්වාගම සමනලගම ප්‍රදේශයේ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුත්තකට එම යන්ත්‍රය කොන්ත්‍රාත්කරු විසින් රැගෙනවිත් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකරමින් තිබු අවස්ථාවේ එම සංවර්ධන කටයුත්ත තාවකාලිකව නතර කිරීම හේතුවෙන් එය මාර්ගයේ අයිනක නවතා තිබේ.

පසුව අදාළ සැකකරුවන් ව්‍යාජ ලියකියවිලි සකස් කර ප්‍රදේශවාසීන්ට මූල්‍ය සමාගමක පුද්ගලයින් දෙදෙනෙකු බව පවසමින් එම යන්ත්‍රය ලොරියක නංවාගෙන රැගෙන ගොස් එලෙස අලෙවිකර ඇත.

කොන්ත්‍රාත්කරු විසින් එම යන්ත්‍රය යළිත් රැගෙන යාමට ඉකුත් සතියේ නාවලපිටියට පැමිණි අවස්ථාවේ යන්ත්‍රය ගාල් කර තිබු ස්ථානයේ නොතිබීම හේතුවෙන් නාවලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ නාවලපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකර හොරණ ප්‍රදේශයේ අලෙවි කිරීමට තබා තිබූ කාපට් තලන යන්ත්‍රය සොයාගෙන තිබේ.

සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් තියත් කර ඇති බව වාර්තා වේ.