ඖෂධ ගැටලුවට මැදිහත්වන්නැයි වෛද්‍යවරු ජනපතිගෙන් ඉල්ලයි
June 28, 2023 03:08 pm
ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාර්ය මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි ජනාධිපතිවරාගෙන් ලිඛිත ඉල්ලීමක්ද සිදුකළ බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.
"උපරිම ප්‍රමිතියකින් මේක පවත්වාගෙන යෑම තහවුරු කිරීම ඇත්තටම ඖෂධ නියාමන අධිකාරිය විසින් කළ යුතු දෙයක්. ඒක සිද්ධවුණේ නෑ කනගාටුවට කාරණයක්. ඒක සම්පූර්ණයෙන්ම මේ නියාමන ක්‍රියාවලිය දැන් බිඳවැටිලා කියලා අපි විශ්වාස කරනවා. ඊයේ අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලිපියක් යොමු කළා. ඒ ලිපියේ එකක් තමා මේ අත්‍යාවශ්‍ය ඖෂධ සහා ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය බොහෝ රෝහල්වලට දැන් ලැබෙන්නේ නෑ. මේ හේතුවෙන් අඩු ප්‍රමිතියෙන් යුතු ඖෂධ නිසි ඇගයීමකින් තොරව රටට එන බව අපට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙලා තියෙනවා."
ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ, ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙක් සිටිය යුතු බවය.
"මේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙක් සිටිය යුතුයි මේ මණ්ඩලයේ. නමුත් පසුගිය මාස ගණනාවටම ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙක් මේ මණ්ඩලයට පත්කරලා නෑ. මේ විදියට ගන්නා වු තීරණ නිවැරදි නොවෙන්න ඉඩකඩ තියෙනවා. මොකද ඒ විශේෂඥ දැනුම් ඒ මණ්ඩලයට ලැබෙන්නේ නැති නිසා. පසුගිය ජ්‍යෙෂ්ඨ ඖෂධවේදීන් 23දෙනෙක් වහාම අමාත්‍යාංශයට මාරු කරලා යවලා තියෙනවා. ඒගොල්ලෝ තමයි විශේෂ පුහුණුවක් ලබපු අය. ඉතින් එහෙම මාරු කරාම මේ ආයතනය කඩාවැටෙනවා. මාධ්‍ය අංශයෙන් අපි ගිය සාකච්ඡාවලදි කිව්වා ලෝක බැංකුවෙන්, ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ සඳහා ණය මුදල් දෙන්නට පොරොන්දු වෙලා තියෙනවා. මේ මුදල ලබන අවුරුද්දටම ඇති කියලා තමා ගිය අවුුරුද්දේ කිව්වේ. මේ අවුරුද්දේ මාස 6ක් ගිහින් තාමත් ඖෂධ නෑ. මේ තත්ත්වය භාවිත කරලා ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීම තවත් ප්‍රශ්නයක්."
ප්රශ්නය - පසුගියදා රෝහලක දෙදෙනෙකු මියගියා. හේතුව බාල බෙහෙත්ද?
"රෝගීන්ගේ මරණය පිළිබඳ හේතුව තීරණය කරන්න වෙන්නේ මරණ පරීක්ෂණයෙන්. නමුත් අපි දන්නවා රෝගීන් දෙදෙනෙක් මියගියේ Bupivacaine කියන ඖෂධය ශල්‍යකර්මයක් කිරීම සඳහා ලබාදීමෙන් පසුව. ජාතික නියාමන අධිකාරියේ රසායනාගාරයේ වාර්තාව තියෙනවා මේ ඖෂධය නියමිත ප්‍රමිතයට නෑ කියලා."