තිදරු පියා අභිරහස් ලෙස මියයයි

තිදරු පියා අභිරහස් ලෙස මියයයි

June 25, 2023   11:13 am

කැස්බෑව ජඹුරලිය බොල්ගොඩ ගඟ අසල එළවළු කොරටුවක වැඩ කරමින් සිටිය දී  ඊයේ සවස අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබිය දී හමුව තිබේ.

එලෙස මියගොස් තිබුණේ කැස්බෑව ජඹුරලිය පදිංචිව සිටි අනුර රෝහිත නැමැති 49 හැවිරිදි තිදරු පියෙකි.

මියගිය අය බොල්ගොඩ ගඟ අසල තිබෙන එළවළු කොරටුවේ‍ වැඩ කරමින් සිට ඇති අතර යාබඳ කොරටුවේ පුද්ගලයා මාර්ගයට පිවිසීමේ දී ඔහුට දුම්වැටියක් මිලදී ගෙන එන ලෙස පවසා තිබූ බව පොලීසිය පවසයි.

දුම්වැටිය රැගෙන එන අවස්ථාවේ දී මියගිය එම පුද්ගලයා එම ස්ථානයේ නොසිටි බව ඔහු පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත.

මියගිය පුද්ගලයා පැලඳ සිටි තොප්පිය සහ කොරටුවේ වැඩකටයුතු සඳහා යොදාගත් පිහියක් කොරටුව තුළ තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

කැස්බෑව පොලීසිය පරීක්ෂණ පවත්වයි.