තවත් දැවැන්ත සෞඛ්‍ය ගැටලුවක්

තවත් දැවැන්ත සෞඛ්‍ය ගැටලුවක්

June 22, 2023   08:09 am

ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය රජයේ රසායනාගාරවල නොමැති වීම හේතුවෙන් ගැටලු රැසක් පැන නැඟී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, මේ හේතුවෙන් වෙළෙඳපොළේ පවතින ආහාර ද්‍රව්‍යවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම ගැටලු සහගත වී ඇති බවය.

"දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආහාරවල සුරක්ෂිතතාවය ආරක්ෂා කරගැනීම සඳහා රසායනාගාරවලට සාම්පල යනවා. මේ සාම්පලවල පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හිඟ නිසා මේ වෙද්දි බොහෝ අනුමත රස පරීක්ෂක කාර්යාලවලින් දැනුම්දීලා තියෙනවා විශාල ආහාර ප්‍රමාණයක් එවන්න එපා කියලා රසායනාගාරවලට විශ්ලේෂණ කටයුතු සඳහා. මේ ගැටලුවත් එක්ක දිවයිනේ වෙළෙඳපොළේ බොහෝවිට තියෙන ආහාරවල ගුණාත්මකභාවය පරීක්ෂාකිරීමේ බරපතළ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම අධිකරණමය කටයුතු සඳහා අපි යවන රසායනාගාර සාම්පල පරීක්ෂා කරගැනීමේ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. කඩිනමින් මේ තත්ත්වය නිවැරදි කරන්න කටයුතු කළ යුතුයි. විශේෂයෙන් රජයේ රස පරීක්ෂක සහ අනුමත රස පරීක්ෂකවරුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සහ රසායනික ද්‍රව්‍ය සැපයිය යුතුයි. එහෙම නැති වුණොත් වෙළෙඳපොළේ භාවිතයට නුසුදුසු බොහෝ ආහාර ද්‍රව්‍ය අලෙවි වේවි. මෙහි ගුණාත්මකවීමේ තත්ත්වය අපිට ඉදිරියට කළ නොහැකියි."