ජෝ බයිඩන් ට චීනයෙන් සැර ප්‍රතිචාරයක්

ජෝ බයිඩන් ට චීනයෙන් සැර ප්‍රතිචාරයක්

June 21, 2023   04:20 pm

චීන ජනාධිපති ෂී ජින්පින් ඒකාධිපතියෙක් බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එල්ලකළ චෝදනාවට චීනය ප්‍රතිචාර දක්වා තිබේ.

චීන බලධාරීන් පවසන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය "විකාර, ප්‍රකෝපකාරී" බවය. එමගින් දෙරට අතර සංහිඳියාව තවත් පළුදු විය හැකි බව චීනය පැවසීය.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වගකීම් රහිත බවත් එය දේශපාලනික වශයෙන් වෛරී බවය.   

අමෙරිකාව සහ චීනය අතර පවතින නිරවි යුද්ධය සමනය කිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු 05 වසරකට පසු ප්‍රථම වතාවට චීනයේ සිදුකළ සංචාරයේ උණුසුම මැකීයාමට පෙර ජනපති ජෝ බයිඩන් සිය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණි.

ඒ මාබ් සේතුංට පසු චීනයේ බිහිවූ ප්‍රබලතම රාජ්‍ය නායකයා වන ජනාධිපති ෂී ජින්පින් ඒකාධිපතිවරයෙකු ලෙස හැඳින්වීමෙනි.

මේ වසර මුලදී අමෙරිකාවට ඉහළ ගුවනේ සැරිසැරූ චීන ඔත්තු බැලීමේ බැලූන, අමෙරිකාව විසින් බිමහෙලූ අවස්ථාවේ චීන ජනාධිපතිවරයා විශාල අපහසුතාවකට ලක්වූ බවත් ජනපති බයිඩන් සඳහන් කළේ එම සිද්ධිය අමතක කළ යුතු බවට රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ දී සිදුකළ ප්‍රකාශයට පරස්පර ලෙසිනි. 

ජනපති බයිඩන් චීන ජනාධිපතිවරයාව ඒකාධිපතියෙකු ලෙස හැඳින්වූ කවර අරමුණකින් ද යන්න පැහැදිලි නැති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. 

ඇතැම් විට සම්ප්‍රදාය වෙනස් කරමින් තුන්වැනි වරටත් චීන කොමියුනිස්ට් පක්ෂ නායකයා ලෙස සහ ජනාධිපතිවරයා ලෙස ෂී-ජින්පින්  තෝරා පත්කරගැනීම ඊට හේතුවිය  හැකි යැයි ඇතැම් විචාරකයන් පවසයි.