දොඩම් ආනයනය අඩුකිරීමට අලුත් වැඩක්

දොඩම් ආනයනය අඩුකිරීමට අලුත් වැඩක්

June 8, 2023   11:47 am

මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව මැන්ඩරින් දොඩම් වගා කලාපයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කරයි.  

දැනට මෙරට දොඩම් වගාව  දිස්ත්‍රික්ක ගණනාවක සිදු කළද විදේශ රටවල සිට ආනයනය කෙරෙන මැන්ඩරින් නැමැති දොඩම් විශේෂය සඳහා මහජනතාවගේ විශාල ඉල්ලුමක් පවතී.

මෙම දොඩම් ආනයනය කිරීම සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඇදී යයි.

වාර්තා වී ඇති පරිදි 2022 වසරේ දොඩම් ආනයනය සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 496ක් වන අතර දොඩම් මෙට්‍රික්  ටොන් 2407ක් ආනයනය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

නමුත් 2022 වසරට පෙර වසරවලදී ඊට වඩා විශාල දොඩම් ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබේ. 

2019 දී මෙරටට ආනයනය කරන ලද දොඩම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7773ක් වන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 949කි. 

මේ අයුරින් 2020 හා 2021 වර්ෂවලදී පිළිවෙළින් රුපියල් මිලියන 670ක් හා මිලියන 735න් බැගින් වැයකර තිබුණි.

මෙසේ ආනයනය කරන ලද දොඩම් අතිබහුතරය මැන්ඩරින් වර්ගයට අයත් දොඩම් වේ.

මැන්ඩරින් දොඩම් විශේෂය ශ්‍රී ලංකාවේ වගාකිරීම සඳහා සිදුකරන ලද පර්යේෂණ සාර්ථක වී තිබේ. 

ඒ අනුව මධ්‍යම කඳුකරයේ ඉහළින් පිහිටි කොටස්වල නොව බදුල්ල, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවල පහළින් පිහිටි ප්‍රදේශවල මැන්ඩරින් දොඩම් වගා කිරීමට උචිත දේශගුණයක් සහිත ප්‍රදේශ ලෙස  හඳුනාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරිහු අවධාරණය කළහ.

2023 වර්ෂයේ දී අයවැයෙන් වෙන් කරන ලද මුදල් නව වගා ව්‍යාපෘති ව්‍යාප්ත කිරීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වන ලද සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

මැන්ඩරින් දොඩම් විශේෂය මෙරට වගාකිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගත යුතු බවට එහිදී තීරණය වී තිබේ.

මැන්ඩරින් දොඩම් වගාව සම්බන්ධව ව්‍යාපෘති වාර්තාවක් මේ වනවිට ඉදිරිපත් කර තිබෙන අතර මෙම වසර තුළම මැන්ඩරින් වගා කලාපය මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අමාත්‍යවරයා උපදෙස්  දුන්නේය.

මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පැළ තවාන්වල මැන්ඩරින් දොඩම් පැළ අවශ්‍ය තරම් රෝපණය කර තිබෙන නිසා ඒවා වගාව සඳහා යොදා ගැනීමට තීරණය කරනු ලැබීය.