අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර හමුවෙයි
June 7, 2023 11:33 am
මීට දින 06 කට පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් එප්පාවල පොලිස් වසමේ, යෝධ ඇළගම ගම්මානයේ පෞද්ගලික ඉඩමක කපා තිබූ බොරලු වළක තිබී සොයාගෙන තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල, යෝධ ඇළගම පදිංචිව සිටි මූනා අලගන් නැමති 79 හැවිරිදි එක් දරු පියෙකි.
එම පුද්ගලයා පසුගිය 01 වැනි දා පස්වරුවේ සිට ආගියඅතක් නොමැති බවට ඔහුගේ පුතු විසින් එප්පාවල පොලිස් ස්ථානයට පසුගිය 03 වැනි දින පැමිණිල්ලක්ද සිදුකර තිබුණි.
ඔහු සම්බන්ධයෙන් සොයා බැලුවත් දින කිහිපයක් පුරා කිසිදු තොරතුරක් හමුව තිබුණේ නැත.
කෙසේවෙතත් ඊයේ (06) සවස පොස්පේට් රක්ෂිතයට දර කැඩීමට යමින් සිටි පුද්ගලයෙකුට අධික දුර්ගන්ධයක් දැනී පසුව ඒ පිළිබඳ සොයා බැලීමේ දී පෞද්ගලික ඉඩමක මායිමේ පිහිටි වසර කිහිපයකට පෙර කපන ලද බොරලු වළක් තුළ මළ සිරුරක් තිබෙනු දැක තිබේ.
ඒ සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, නරක් වී තිබු මළ සිරුර ගොඩ ගෙන ඇත.
එලෙස මියගොස් ඇති පුද්ගලයාගේ ඇස් පෙනීම සහ කන් ඇසීම දුර්වල තත්ත්වයේ තිබී ඇති අතර මීට මාස 11කට පමණ පෙර ඔහුගේ බිරිඳ මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
බිරිඳගේ මරණයෙන් කම්පනයට පත්ව ඇති එම පුද්ගලයා නිතර බිරිඳ පිළිබඳ විමසමින් ඇයව සොයා ගිය බව ද වාර්තා වේ.
එලෙස බිරිඳ සොයා යන අවස්ථාවේ දී බොරලු වළකට වැටී ගොඩ ඒමට නොහැකිව මෙලෙස ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි ප්‍රදේශවාසීහු සැක පළ කරති.
සිද්ධිය වූ ස්ථානයට තඹුත්තේගම මහෙස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත රැගෙන යන ලෙස පොලීසියට නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
