සැකකරුගේ බිරිඳ පොලිස් නිලධාරියාගේ අත සපා කාලා
June 7, 2023 08:02 am
පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම හා නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට පත්ව තිබේ.
ඊයේ (06) උදෑසන කෑගල්ල කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ත්‍රිරෝද රථයකින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත එම කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරවෙකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් වරකාපොළ පොලිස් වසමේ කන්ද දෙල්ගමුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථය නවතා පරීක්ෂා කර තිබේ.
එහිදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 33ක් එනම් බෝතල් 44ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව සැකකරු කෑගසා ඇති අතර එම ස්ථානයට පැමිණි සැකකරුගේ බිරිඳ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ අත සපා කා තුවාල සිදුකර පළා ගොස් ඇත.
සැකකරු අවුරුදු 33ක් වන දෙල්ගමුව, වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු, නීතිවිරෝධී මත්පැන් හා ත්‍රීරෝද රථය වැඩිදුර විමර්ශන සඳහා වරකාපොළ පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
තුවාල ලැබු උප පොලිස් පරීක්ෂකවරයා කෑගල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
සැකකරුව පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම හා නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය යන චෝදනා යටතේ අද (07) දින වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධියෙන් පසු සැකකරුගේ බිරිඳ පළා ගොස් ඇති අතර, ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ සිදුකෙරේ.