දෙරණාභිවන්දනා උත්තම පොසොන් නමස්කාරය අද දවස පුරා

දෙරණාභිවන්දනා උත්තම පොසොන් නමස්කාරය අද දවස පුරා

June 3, 2023   04:01 pm

සම්බුදු දහම ශ්‍රී ලංකාද්වීපයට දායාද කරදෙමින් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහොය අදට (03) යෙදී තිබේ. 

එය සිහි කරමින් සැදැහැවතුන් අද ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්වල නිරත වෙයි.

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දෙරණාභිවන්දනා උත්තම පොසොන් නමස්කාරය ද අද පැවැත්වෙන්නේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් අබියසදීය.

අනුබුදු මිහිඳු මා හිමියන් ඉත්තිය, උත්ථිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් සහ අනාගාමී භණ්ඩුක උපාසක යන ධර්මදූත පිරිස සමඟින් ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසේ අද වන් පොහෝ දිනකදී අනුරාධපුර මිස්සක පව්වට වැඩම කරනු ලැබීය.

එවකට මිත්‍යාදෘෂ්ටියට මුල් තැන දී සිටි ශ්‍රී ලාංකිකයා බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ශිෂ්ටසම්පන්න සමාජ ක්‍රමයක් වෙත යොමුවූයේ මෙම මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසය.

එම සුවිශේෂී ශාසනික සිදුවීම සිහිපත් කරමින් ශ්‍රී ලංකාවාසී සැදැහැවතුන් අද දවස පුරා වෙහෙර විහාරස්ථානවලට රැස්වී ආගමික වතාවත්වල නිරත වෙයි.

මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් 'අද දෙරණ' 24 නාලිකාවේ අනුග්‍රහයෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී සීල සමාදානය ඇතුළු පිංකම් රැසක් පැවැත්වෙයි.

මේ අතර දෙරණාභිවන්දනා උත්තම පොසොන් නමස්කාරය මෙවරත් පැවැත්වෙන්නේ රුවන්වැලි මහා සෑය කේන්ද්‍ර කරගනිමිනි.

අද අලුයම 5.45 ට දෙරණාභිවන්දනා උත්තම පොසොන් නමස්කාරය ආරම්භ වුයේ රුවන්වැලි මහා සෑ රදුන් අභියසදීය.

ඒ රුවන්වැලි මහා සෑ නියෝජ්‍ය පරිවේනාධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය කුඩාගාලවැවේ ඥානවිමල හිමියන් විසින් උවැසි උවැසියන් පෙහෙවස් සමාදන්වීම සිදුකරමිනි.

අභයගිරි චෛත්‍යාරාමාධිකාරී ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ අංශාධිපති, පූජ්‍ය ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමි, උදෑසන ධර්ම සාකච්ඡාව පැවැත්විය.

අනතුරුව ධර්ම දේශනය පැවැත්වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසිනි.

එමෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඔලංගවත්තේ චන්ද්‍රසිරි හිමි, සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගතැන්නේ පඤ්ඤානන්ද හිමි සහ අභයගිරි විහාරාධිපති පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමි විසින් ධර්ම සාකච්ඡා සිදු කර තිබුණි.

දෙරණාභිවන්දනා උත්තම පොසොන් නමස්කාරය වෙනුවෙන් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද බෝධි පූජා මෙන්ම පිංකම් රැසක් අද දවස පුරා ටී.වී.දෙරණ සහ එෆ්.එම්. දෙරණ ඔස්සේ සජීවිව විකාශය කෙරේ.

මේ අතර මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 17,180 ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඉන් වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් ලියාපදිංචි වී ඇති අතර උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලද විශාල දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් අද දිනයේ සිරකරුවන් 440 දෙනෙකු සඳහා විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබුණි.

ඒ අනුව පිරිමි රැඳවූවන් සිරකරුවන් 434 දෙනෙකු සහ කාන්තා රැඳවියන් 06 දෙනෙකු ඇතුළුව සිරකරුවන් 440 දෙනෙකු අද ජනාධිපති සමාව යටතේ දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම නිදහස් වී පිටව ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

මේ අතර පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථනය මඟින් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

අද උදෑසන 08.00 ට ආරම්භ වූ මෙම වැඩසටහන් අද පස්වරු 03.00 දක්වා ක්‍රියාත්මක වුණි.

ඒ සඳහා මාධ්‍යය අනුග්‍රහය ලබාදුන්නේ අද දෙරණ 24 නාලිකාවය.

පොසොන් පොහොයට සමගාමීව මතුගම නගරයේ උපකාරක පන්තිවලට සහභාගී වන සිසුන් සහ උපකාරක පන්ති ගුරුවරුන් විසින් මතුගම නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධාන කර තිබුණි. ඒ මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ මතුගම පොලීසියේ සහයෝගයෙනි.

අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවී ඊයේ දිනට වසර 36කි.

එදින අපවත් වූ භින්ෂූන් වහන්සේ තිස් දෙනම සිහිපත් කරමින් පුෂ්ප උපහාර පිදීමේ උත්සවයක් භික්ෂු ඝාතනය සිදුවූ ස්ථානයේදී ඊයේ සිදු කෙරුණි.

1987 ජුනි මස දෙවැනිදා අම්පාර ලංගම ඩිපෝවට අයත් බස් රථයක නැගී මහනුවර දළදා මාළිගය වැඳපුදා ගැනීමට වඩිමින් සිටි භික්ෂූන් වහන්සේ පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය එල්ලකර තිබුණි.

එහිදී කුඩා සාමනේර හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේ තිස් දෙනමක් කොටි ත්‍රස්තවාදීන් විසින් සාහසික ලෙස ඝාතනයට ලක්කර තිබුණි.

පොළොන්නරුව මැදිරිගිරිය දියසෙන්පුර ශ්‍රී බෝධිරුක්ඛාරාම රජමහා විහාරයේ අභිනව 'මා පිය මහා සෑ' චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත පැළඳවීම ද ඊයේ සිදු කෙරුණි.