පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

June 3, 2023   07:05 am

ලංකාද්වීපයට බුදු දහම දායාද කරමින් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබේ.

ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකවරයාත් බුදු රජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම රැගෙන අනුරාධපුර මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථි පදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම සිදුවූයේද අද වැනි පොසොන් පොහොය දිනක බව සඳහන් වේ.

මිහින්තලා පව්වේදී භණ්ඩුක උපාසකවරයා පැවිදිකොට මහණ උපසම්පදාව සිදුකිරීම පොසොන් පොහොය දිනයේ සිදුවූ තවත් වැදගත් සිදුවීමකි.

මේ අතර රටේ මතුව තිබූ දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවාතැබීමට සියලුදෙනා අදිටන් කර ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ ඒ සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ විසින් වදාළ පිවිතුරු දහමත් එමඟින් පෝෂණය වූ හරවත් බොදු උරුමයත් සුරකිමින් එය ආභාෂය කොට ගතයුතු බවය.

අභිමානවත් රටක් ජාතියක් ලෙස ඉදිරියට පැමිණීම සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ දෙසූ දහම සහ අනුදැන වදාළ ජීවන මග මහෝපකාරී වන බව ජනාධිපතිවරයා සිය පොසොන් දින පණිවුඩයෙන් පෙන්වා දෙයි.