ජනපති සහ ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ අතර සාකච්ඡාවක්
May 30, 2023 06:55 am
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඊයේ (29) පස්වරුවේ පැවති එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂවල නියෝජිතයින් සහභාගී වූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනතුරු බලාපොරොත්තුවෙන් කටයුතු කරන පක්ෂයක් නොවන බව සාකච්ඡාවෙන් පසු එහි මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
"සාකච්ඡාවක් කළා ජනාධිපතිතුමා ආණ්ඩුවේ පක්ෂ සමග ජනාධිපතිතුමා ඉදිරි වැඩපිළිවෙලත් ඒ වගේම දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන්. පක්ෂ හැටියට අපි අපෙගේ අදහස් දැක්වුවා."
ප්‍රශ්නය - කැබිනට් ඇමතිකම් නැති අයත් ඇවිත් ඉන්නවා දැක්කා...රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ වගේ. එතුමාලට ජනාධිපතිතුමා මොනවා ද කිව්වේ...?
"කැබිනට් අමාත්‍ය ධුර සම්බන්ධයෙන් පැවතුන සාකච්ඡාවක් නෙමෙයි මේක. ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් හා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කරපු සාකච්ඡාවක්. අපි පක්ෂයක් හැටියට තනතුරු තානාන්තර බලාගෙන කටයුතු කරන පක්ෂයක්ම නෙමෙයි. දේශපාලනය කියන්නේ අපි අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. විපක්ෂය ඔවුන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරයි. ජනතාව තෝරාගත යුතුයි. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය..."
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ තමන් ආමාත්‍ය නතතුරු ඉල්ලා ලබා නොගන්නා බවය.
"අපි ඉල්ලන්න ගියේ නෑනේ කැබිනට් ඇමතිකම්. ඒගොල්ලෝ ආරාධනා කරලා තිබුණා, පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක නායකයින්ට, ඇමතිවරුන්ට, සෙසු දේශපාලන පක්ෂවල අපිත් එක්ක ඉන්න අයගේ නායකයින්ට. ඒ අය එකතුවෙලා කරපු සාකච්ඡාවක් තමා අද කරේ. උපදෙස් ලැබුණා අපි අතර සංවාදයක් ඇති කළා අපි කොහොම ද ඉස්සරහට වැඩ කරගෙන යන්නේ කියලා. ආණ්ඩුව ආරක්ෂා කිරීමේ ප්‍රශ්නයක් නෑ. ආණ්ඩුවට ඕන කරන මන්ත්‍රී සංඛ්‍යාව ඉන්නවා. ආණ්ඩුව ඉදිරියට යන්න කරන්න ඕන කටයුතු තමා කතා කළේ."