නීතිවිරෝධී සංක්‍රමණ නතර කිරීමට බ්‍රිතාන්‍ය සහාය ඉල්ලයි

නීතිවිරෝධී සංක්‍රමණ නතර කිරීමට බ්‍රිතාන්‍ය සහාය ඉල්ලයි

May 27, 2023   03:22 pm

පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු- පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය සමග මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවී තිබේ.

ඒ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදීය.

මෙහිදී ‍රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

සේරා හල්ටන් මහත්මිය ශ්‍රී ලාංකිකයින් නීතිවිරෝධී සංක්‍රමණිකයින් ලෙස බ්‍රිතාන්‍යට පැමිණීම වැළැක්වීමට සහයෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා තිබේ.

තවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡ වී තිබේ.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා ඇත්තේ මෑතකදී බ්‍රිතාන්‍ය ද නව නීති හඳුන්වා දුන් බවත් එම නීති හඳුන්වාදීම රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය බවය.

බෙන් මෙලර් මහතා මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින 04 දෙනෙකු පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එහිදී ටිරාන් අලස් මහතා පවසා ඇත්තේ ඔවුන් සිව්දෙනාම පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් බවය.

තවද ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් වෙත නීතිරීති භාවිතය පිළිබඳව පුහුණු වැඩමුළුවක් සූම් තාක්ෂණය ඔස්සේ බ්‍රිතාන්‍ය පොලීසිය ද සම්බන්ධ කරගනිමින් සංවිධානය කිරීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත.