ලස්සන වෙන්න ලබාදෙන එන්නත ගැන උකුස්සා සියල්ල හෙළිකරයි
May 25, 2023 07:23 pm
මෙරටදී භාවිතයට තහනම් කර තිබෙන, පිළිකා රෝගීන් සඳහා භාවිත කරන එන්නත් යොදාගෙන රූපලාවන්‍ය ව්‍යාපාරයක නියැලුනු පුද්ගලයකු නීතියේ රැහැනට හසුකරදීමට 'අද දෙරණ' උකුස්සාට හැකිවුණි.
උකුස්සාගේ අද (25) හෙළිදරව්ව ඒ පිළිබඳවය.
කාන්තාවන් මෙන්ම පිරිමින්ද සම පැහැපැත් කරගැනීම සඳහා විවිධ වර්ගයේ එන්නත් භාවිතය මේ දිනවල බහුලව සිදුකෙරෙයි.
ඒ සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නේ පිළිකා රෝගීන්ගේ අතුරු ආබාධ සමනය කිරීම සඳහා ලබාදෙන''ග්ලූටාතියන්'' නමැති එන්නතකි.
සෞඛ්‍ය අංශ එය මෙරට තුළ භාවිතය තහනම් කර තිබේ.
මෙම එන්නතින් සිදුවන්නේ, සමෙහි මෙලනින් මගින් ඇති කරන වර්ණ නිෂ්පාදනය අවම කිරීමය.
එවන් පසුබිමක එම එන්නත් විදෙස් රටවලින් මෙරටට ගෙන්වා අලෙවි කරන ජාවාරමක් පිළිබඳව තොරතුරක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වෙත ලැබී තිබුණි.
ඒ අනුව ඔවුන් සමග එක්වී අද දෙරණ උකුස්සා ගවේෂණයක නිරත වුයේ අදාළ ජාවාරම පිළිබඳව රටට අනාවරණ කිරීම සඳහාය.
මෙම ජාවාරම සිදුකරන පුද්ගලයා සිය ෆේස්බුක් හා ටික්ටොක් ගිණුම්වල ද විවිධ රූපරාමු පෙළක් පළකර තිබුණි.
අනතුරුව අප එහි සඳහන් දුරකතන අංකයට ඇමතුමක් ලබාගත්තේ සම පැහැපත් කරගැනීම සඳහා එන්නතක් ලබාගැනීමට අවශ්‍ය බව පවසමිනි.
ඉන් පසු ජාවාරම්කරු විශ්වාසය ගොඩනැගීම සඳහා ඔහුගෙන් සම පැහැපත් කිරීමේ එන්නත් ලබාගත් තරුණියන්ගේ රූප රාමු පෙළක් අප වෙත එවා තිබුණි.
ඉන් පසු සිදුවූ සියල්ල පිළිබඳ තොරතුරු හෙට (26) දිනයේදී රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සූදානමින්.
