ජාතික පොසොන් උත්සවය ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්

ජාතික පොසොන් උත්සවය ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්

May 23, 2023   01:25 pm

අනුරාධපුර මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ජාතික පොසොන් උත්සවය සඳහා අවශ්‍ය මූලික කටයුතු වෙනුවෙන් මේ වන විට රුපියල් ලක්ෂ 31ක මුදලක් ලබා දී ඇති බව රජය පවසයි.

කෙසේවෙතත් ඉදිරියේ දී අනෙකුත් ප්‍රතිපාදන ද ලබාදීමට ද කටයුතු කරන බව රජය සඳහන් කළේය.

මෙම රුපියල් ලක්ෂ 31ක මුදල මිහින්තලය විහාරස්ථානය වෙත පමණක් ලබා දි ඇති අතර අටමස්ථාන සහ පොසොන් කලාපය වෙනුවෙන් මුදල් ලබාදීමට කටයුතු කරන බව ද සඳහන්ය.

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලය විදුලි ආලෝක පූජාවට සහ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ප්‍රමාණවත් මුදල් රජය විසින් ලබා දී නොමැති බවට මිහින්තලය රජමහා විහාරාධිපති පුජ්‍ය වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමි මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව මුදල් සොයා ගැනීම සඳහා පිණ්ඩපාත චාරිකාවක් හෝ සිදුකරන බව උන්වහන්සේ සඳහන් කර ඇත.

මිහින්තලය විදුලි ආලෝක පුජාව මෙවර කිසිදු ආයතනයක් විසින් මෙතෙක් භාරගෙන නොමැති අතර එම කටයුතු සඳහා රුපියල් මිලියන 06ක පමණ මුදලක් වැය වන බව ද උන්වහන්සේ සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කළ ඉල්ලීමකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ, පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය දක්වන ලෙසට ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවය.

ඒ අනුව මිහින්තලාව ප්‍රමුඛ අනුරාධපුර පොසොන් පුණ්‍යෝත්සවය සඳහා, මූල්‍ය ලෙස හෝ කිසිදු ආකාරයක අඩුපාඩුවක් රජය පාර්ශවයෙන් සිදුනොවන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.