සීයා හැදු වැවට බිලි වූ මුණුබුරා

සීයා හැදු වැවට බිලි වූ මුණුබුරා

May 21, 2023   03:30 pm

මදුරන්කුලිය, වේලාසිය රත්මල්ගස්වැව ජයම්පති වැවේ මල් කැඩිමට ගිය 20 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තම ඥාතින් පිරිසක් සමග කැලණිය පන්සල වන්දනා කිරීමට යාම සඳහා ජයම්පති වැවෙන් රතු ඕලු කැඩිමට වැවේ පිහිනා යමින් සිටියදී එහි තිබු පාසි තුළ පැටලි සිරවිමේන් පසු ආපසු ගොඩට ඒමට නොහැකිව ජලයේ ගිලී තරුණයා මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ වේලාසිය රත්මල්ගස්වැව පදිංචි 20 හැවිරිදි එස්. ඒ. දිලාන් දිල්හාර නැමති දරුවන් සිව්දෙනෙකුගෙන් සමන්විත පවුලක වැඩිමල් දරුවාය.

මෙම තරුණයා ජයම්පති වැවට රතු ඕලු මල් කැඩිමට තම පුංචි සමග ගොස් ඇති අතර මල් කඩමින් සිටි තරුණයා එකවර නොපෙනී ගොස් ඇත.

ඒ සමග බියට පත්වු පුංචි විලාප තබමින් අවට පිරිස් වෙත කෑ ගසා ආධාර ඉල්ලා ඇත.

එහිදී ගම්වාසීන් පැමිණ දැඩි වෙහෙසක් දරා පාසි තුළ සිරවී  සිටි දිලාන්ව ගොඩට ගෙන තිබු නමුත් ඒ වන විටත් ඔහු මියගොස් තිබුණි.

මෙම තරුණයා දියේ ගිලි මරණයට පත්වු වැව ඔහුගේ සීයා විසින් ඉදිකළ ජයම්පති නමින් හැඳින්වෙන වැව බව වාර්තා වෙයි.