ඔන්ලයින් භාණ්ඩ අලෙවිය නියාමනය කෙරේ

ඔන්ලයින් භාණ්ඩ අලෙවිය නියාමනය කෙරේ

May 19, 2023   05:22 pm

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව අන්තර්ජාල හරහා යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රචාරණය සිදුකරන විට නොමඟ යවනසුළු කටයුතුවල නිරත නොවිය යුතු අතර භාණ්ඩයේ සත්‍ය ගැණුම් මිල අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කර ඇති මිල බවට සහතික වියයුතු බව ගැසට් නිවේදනයේ සඳහන් ය.

පාරිභෝගිකයින්ගේ ඇගයීම් හා සමාලෝචන සම්බන්ධයෙන් අසත්‍ය ඇගයීම් ප්‍රකාශයට පත් නොකළ යුතු අතර සමාලෝචන යොමු කිරීමට කුලී පදනම මත තෙවන පාර්ශ්වයක් යොදා නොගත යුතු බවද එහි දැක්වෙයි.

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කර ප්‍රවාහනයේදී සියලු තොරතුරු ඇතුළත් කුවිතාන්සියක් පාරිභෝකයා වෙත නිකුත් කළ යුතු බව පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙයි.

එමෙන්ම විකුණන ලද භාණ්ඩ සම්බන්ධයෙන් පාරිභෝගික පසු විපරම් යාන්ත්‍රණයක් ඇතිකළ යුතු බවද පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.