කොළඹදී නැතිවූ V 8 රථය හමුවූ තැන
May 19, 2023 04:12 pm
අස්ථානගත වූ V 8 වර්ගයේ ජීප් රථයක් සෙල්ලකතරගම ප්‍රදේශයේදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙලෙස සොයාගෙන ඇත්තේ මෘදුකාංග ඉන්ජිනේරුවෙකුගේ ජිප් රථයකි.
ඔහු සිය රථය කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි වාහන කුලියට ලබාදෙන ස්ථානයකට කුලී පදනම මත ලබා දී තිබේ.
ඒ රුපියල් 280,000ක මාසික කුලී පදනම මතය.
කෙසේ වෙතත් ටික දිනකට පසුව සිය රථය එම ස්ථානයෙන් අතුරුදන්ව ඇති බවට අදාළ මෘදුකාංග ඉන්ජිනේරුවරයා පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ අදාළ වාහන කුලියට ලබාදීමේ නිරතව සිටි පුද්ගලයා ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බවය.
පසුව V 8 වර්ගයේ ජීප් රථයේ සවිකර තිබූ GPS තාක්ෂණය ඔස්සේ සිදුකළ විමර්ශනයකදී එම රථය සෙල්ලකතරගම ප්‍රදේශයේ ඇති බවට අනාවරණය වී තිබේ.
අනතුරුව සෙල්ලකතරගම ප්‍රදේශයට ගොස් අදාළ ජීප් රථය සොයාගත් පොලීසිය එහි සිටි රියදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහුට අයත් දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි ආයතනය වෙත පැමිණි නුගේගොඩ ප්‍රදේශයේ වාහන අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකු එම ජීප් රථය රුපියල් ලක්ෂ 30කට ඔහුට උගස් කර ඇති බවය.
ඒ සඳහා ඔහු වාහන පැවරීමේ පෝරමයක් ද එම පුද්ගලයා වෙත ලබා දී තිබුණි.
පසුව පොලීසිය නුගේගොඩ ප්‍රදේශයේ වාහන අලෙවිකිරීමේ ව්‍යාපාරවල නිරත පුද්ගලයා සොයාගොස් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මේ දිනවල ඔහුගේ ව්‍යාපාර අධික ලෙස පාඩු ලබමින් තිබීම හේතුවෙන් මෙලෙස V 8 වර්ගයේ ජීප් රථය උගස් තබා ඇති බවය.
පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකාර ව්‍යාපාරිකයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර පළාගොස් සිටින කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.