ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම ගැන සාකච්ඡාවක්

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම ගැන සාකච්ඡාවක්

May 18, 2023   04:46 pm

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීළඟ පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සිදුවිය. 

මේ අනුව පාර්ලිමේන්තුව මැයි 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව රැස්වන දින අතුරෙන් මැයි 23 සහ 24 දෙදින පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කිරීමට ද මෙහිදී තීරණය විය.

මැයි 23 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ අංක 2312/67 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියෝගය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක  2312/68 67 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියෝගය, සුරාබදු ආඥා පනත යටතේ අංක 2312/70 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නිවේදනය විවාදයට ගැනීමට නියමිතය.

තවද එදින දුම්කොළ බදු (සංශෝධන) පනත යටතේ අංක 2312/71 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියෝග, මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2312/73 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියමය, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ අංක 2316/32 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියමය සහ 2003 අංක 25 දරණ මුදල් පනත යටතේ අංක 2309/37 ගැසට් පත්‍රයේ සඳහන් නියමයද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබේ.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. 

මැයි 24 වන බදාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත අනුව එම කොමිෂන් සභාවේ වත්මන් සභාපතීත්වය සහ සාමාජිකත්වය දරන ජේ. ඩබ්. එම්. ජේ. පී.කේ රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාදයට ගැනීමට ද නියමිතය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

මැයි 25 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 12.30 දක්වා කාලය වෙන්කර ඇත්තේ මැයි 22 වනදා සිට විශ්‍රාමගැනීමට නියමිත පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගයීමේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහාය.

අනතුරුව ප.ව 12.30 සිට ප.ව 5.00 දක්වා 2003 අංක 25 දරණ මුදල් පනත යටතේ අංක 2309/37 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියෝගය, 2004 අංක 11 දරණ මුදල් පනත යටතේ අංක 2312/80 දරණ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝගය සහ 2018 අංක 35 දරණ මුදල් පනත යටතේ අංක 2312/69 සහ 2318/53 දරණ ගැසට් පත්‍රවල සඳහන් නියෝග විවාදයට ගෙන අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇත.  

තවද එදින දේශීය ආදායම් පනත යටතේ, ආදායම් මතවූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මඟහැරීම වැළැක්වීම සඳහා මෙරට ආණ්ඩුව සහ චෙක් ජනරජ ආණ්ඩුව අතර 2023 පෙබරවාරි 3 ඇති කරගත් ගිවිසුමට අදාළ යෝජනාවට ද අනුමැතිය ලබාගැනීමට මෙහිදී තීරණය විය.   
 
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. 

මැයි 26වන සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝසප් මයිකල් පෙරේරා මහතා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෙන්කිරීමට ද මෙහිදී තීරණය විය. 

ඒ අනුව එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෙන් කර ඇත.