පාස්පෝට් නිකුත් කිරීම ගැන විශේෂ දැනුම්දීමක්
May 18, 2023 01:21 pm
අද (18) දින සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලුදෙනා කඩිනමින් පරිශ්‍රය ඇතුළට ගන්නා බව ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි.
උද්ගත වී ඇති දැඩි තදබදය පිළිබඳ අදහස් දක්වමින් ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ජූනි මාසයේ සිට ගමන් බලපත්‍ර ලබාගන්නා ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බවය.
වැඩිදුරටත් අදහස් දැක්වමින් ඒ මහතා පවසා සිටියේ ජනතාව රවටා මුදල් ගන්නා තැරැව්කරුවන් යම් ප්‍රමාණයක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවය.
"තැරැව්කරුවන් යම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ඒ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවෙනවා. ඒ වගේම අද දින සිට මෙතෙනට එන කිසිදු තැනැත්තෙක් අපි එළියේ තියන්නේ නෑ. ඒ සියලුදෙනා පරිශ්‍රය ඇතුළට කඩිනමින් ගන්නවා. මොකද එළියේ හිටියාම තමා මෙවැනි තැරැව්කරුවන්ට අහුවෙන්නේ. අපි ජුනි මාසයේ පටන් ගන්න වැඩපිළිවෙලේ දී එළියට නෙමෙයි කොළඹ ගෙන්න ගන්නෙත් නෑ. අපි දින තුනක් ඇතුළත ඔබගේ ගමන් බලපත්‍රය රජයේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඔබ වෙතට ලබාදීමට මුලික වැඩකටයුතු සුදානම් කරලා තියෙනවා."
බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ දින කිහිපයක සිට දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ.
ඒ ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැවති පූර්ව දින වෙන් කිරීමේ ක්‍රියාවලිය ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත නතර කර දැමීමට සිදුවීම හේතුවෙනි.
දැඩි තදබදය හේතුවෙන්, කාර්යාලයේ එක්දින සේවාව ද ඊයේ (17) අවලංගු කර තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගුවන් ගමන් බලපත්‍ර සේවා සිදුකෙරෙන්නේ පූර්ව දින වෙන් කිරීමේ ක්රමවේදයටය.
කලින් දිනයක් වෙන් කරවාගත් ජනතාවට එම නියමිත දිනට සහ වේලාවට පැමිණ සේවා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබුණි.
නමුත් ඇතැම් තැරැව්කරුවන් එම නිසි ක්‍රමවේදයෙන් පිට අනීතික ලෙස ජනතාවට සේවා සැලසීමට උත්සාහ කිරීම නිසා පූර්ව දින වෙන්කිරීමේ ක්‍රියාවලිය නවතා දැමීමට සිදුවූ බව වාර්තා වේ.
මේ හේතුවෙන් පසුගිය දිනවල කාර්යාලය තුළ දැඩි තදබදයක් නිර්මාණය වී තිබුණි.
අධික තදබදය නිසා එක්දින සේවාව ද ඊයේ ක්‍රියාත්මක නොවූ අතර සේවා ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් ඉන් ලක්වූයේ දැඩි අපහසුතාවටය.
ඇතැම් පිරිසට ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දින කිහිපයක් පුරා රැය පහන් කිරීමටත් සිදුවුණි.
මේ පිළිබඳ අදහස් දැක්වු ආගමන විගමන පාලක ජනරාල්වරයා,
"අපි ජනතාවට කිව්වා පැහැදිලිව කලින් දින වෙන්කර ගත්ත දිනවලදී එන්න. අනික් අයට එන්න එපා කියලා මේ ක්‍රමවේදය හදනකල් කියලා. නමුත් සමහර වෙලාවට බස්වලින්, වෑන්වලින් මිනිස්සුන්ව ගෙනල්ලා මෙතැනට බස්සනවා ගමන් බලපත්‍ර හදා ගන්න. මට තේරෙන්නේ නෑ ඒ සංවිධානාත්මක ක්‍රමවේදය කුමක්ද කියලා. දැන් ඔබ ගිහින් බැලුවත් දෙපාර්තමේන්තුවේ පියස පරිශ්‍රය හිස්. සීට් තියෙනවා. නමුත් මිනිස්සු ඇවිල්ලා වාඩිවෙන්නේ නෑ. එක්කෝ එළියේ තැන් තැන්වල ඉන්නවා. එළියේ ඉන්න ගොඩක් අය ගමන් බලපත්‍රය සකස් කර ගන්න ආපු අය නෙමෙයි. ඒ අය එක්ක ආපු ඥාති මිත්‍රාදීන්. දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ අවශ්‍ය පහසුකම් දෙන්න පුළුවන් වෙන්නේ ගමන් බලපත්‍ර සකස් කර ගන්න එන අයට පමණයි. අනිත් අයට පහසුකම් දෙන්න විදියක් නෑ."