දරු තිදෙනෙක් සමග අසරණ වූ ආදරණීය මවක්
May 14, 2023 03:01 pm
අම්මා ගැන සමරන්නට දිනයක් අවශ්‍ය නැතත් සෑම වසරකම මැයි මස දෙවන ඉරිදා දිනය අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරනු ලබයි.
දරුවන් වෙනුවෙන් දහසකුත් දුක්විඳින අම්මාවරු අතරේ තවත් එක් අම්මා කෙනෙකුගේ කතාවයි මේ.
J.M.චාන්දනී කුමාරී, පිරිමි දරුවන් තිදෙනෙකුගේ මවක්.
ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව රත්මල්වැටිය ප්‍රදේශයේ චාන්දනීත් ඇයගේ දරුවන් තිදෙනාත් නිවසේ කුලී පදනම මත ජීවත් වේ.
ඉතා හොඳ ජීවිතයක් ගත කළ චාන්දනීගේ ජීවිතය විවාහයෙන් පසු දැඩි අසීරු තත්ත්වයට පත්වන්නේ ඇයගේ සැමියා මත්කුඩු භාවිතයට හුරුවීම නිසයි.
සැමියාගේ අඩත්තේට්ටම් මැද ජීවත්වූ චාන්දනී මීට වසර 2කට පෙර තුන්වෙනි දරුවා කුස තුළ තබා ගෙන අනෙක් දරු දෙදෙනාද සමඟ මොරටුව ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණෙන්නේ ඇයගේ සැමියා ඇයවත් දරුවන්වත් අතහැර යාම නිසයි.
"මට ගහනවා. අපිට කන්න බොන්න දෙන්නේ නෑ. එයාලගේ අම්මලා ගෙදර තමා හිටියේ අම්මා අපිව එළියට දැම්මා. මහ පාරේ තමා හිටියේ. මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමා අනුරාධපුර ප්‍රදේශයට ආවේ. ගෙයක් හොයලා දුන්නේ ග්‍රාමසේවක මහත්තයා. මේ ගෙදරත් තව මාසයකින් ඉල්ලනවා."
ඇය තම දරු තිදෙනාගේ කුස පුරවන්නේත්, වැඩිමහල් දරුවන් දෙදෙනා පාසල් යවන්නේත් කුලී රැකියාවන්වල නිරත වී ලබා ගන්නා සොච්චම් ආදායමෙනි.
"එයාලට පොත්පත් නෑ. මේ කැඩුණු සපත්තු දෙක තමා දාන්නේ. අනිත් දරුවාගේ සපත්තු දෙකත් ඒ වගේමයි. උදේ මැල්ලුමක් හදලා තමා දරුවන්ට කන්න දුන්නේ."
නමුත් මේ වන විට ඇයගේ ජීවිතය තව තවත් අසීරු වී තිබේ.
ඒ අවුරුද්දක් වයසැති ඇයගේ සිඟිති පුතු උපන්දා සිට අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙනි.
"එයාගේ හාට් එකේ දකුණු පැත්තේ සිදුරු දෙකක් තියෙනවා. ඉස්පිරිතාලේට අරන් යන්න. ඊයේත් බබාට ලේ දෙන්න යන්න බැරි වුණා. බස් එකේ යන්න සල්ලි නැති නිසා. ඒ ගිහාම ලේ එකක් පිටින් බලන්න තියෙනවා. රු 2800ක් යනවා. කරගන්න බැරි නිසා මම ගියේ නෑ."
දරු සෙනහස මහ මෙරටත් වඩා දරාගෙන ඒ වෙනුවෙන්ම ජීවිතය කැප කරන අම්මාවරු අතරේ චාන්දනී තවත් එක් මවක්.
දහසක් දුක්විඳින දයාබර අම්මාවරුන්ගේ ඒ දුක් සියල්ල නිමා වේවා යන්න අම්මාවරුන් වෙනුවෙන් අපගේ එකම ප්‍රාර්ථනයයි.
ඒ වගේම චාන්දනීගේ දුක් ගිනි නිවන්න ඔබටත් හැකි පමණින් දායකවිය හැකි නම් එයද මහඟු උපකාරයක් වනු නොඅනුමානය.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 077 9853 100 යන දුරකථන අංකයට කතා කිරීමෙන් ලබාගත හැකිය.