නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීමක්

නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීමක්

May 14, 2023   01:38 pm

පවතින වර්ෂා තත්ත්වයත් සමඟ නිල්වලා ගංගා ද්‍රෝණියට අයත් පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

අද (14) උදෑසන සිට මේ දක්වා කාලය තුළ නිල්වලා ගංගා ද්‍රොණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ හේතුවෙන් ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24ක කාලය තුළ කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ මාතර සහ දෙව්නුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වන ලෙස එම පහත් බිම් ප්‍රදේශවල සිටින ජනතාවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එමෙන්ම විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන් මේ ගැන සැලකිලිමත් වන ලෙස ද දැනුම් දී තිබේ.