මෙවර විශාලතම තොරණ පානදුරෙන්

මෙවර විශාලතම තොරණ පානදුරෙන්

May 6, 2023   06:36 pm

වසර හතරකට පසුව නිදහසේ සැමරෙන වෙසක් උත්සව වෙනුවෙන් කොළඹ ඇතුළු නගර රැසක තොරණ, වෙසක් කූඩු ඇතුළු වෙසක් කලාප රැසක් මෙවර සංවිධානය කර තිබේ. 

ඒවා නැරඹීම සඳහා අතිවිශාල ජනකායක් ඊයේ පැමිණ සිටි අයුරු ද දක්නට ලැබුණි.

කාගේත් අවධානය දිනා ගන්නා තොටළඟ තොරණ මෙවරත් ප්‍රදර්ශනය කෙරුනේ 68වන වරටය.

තොටළඟ ශ්‍රී වෛශාඛාලෝක සමිතිය වාර්ෂිකව නිර්මාණය කරන තොටළඟ තොරණින් මෙවර නිරූපනය කෙරුණේ මහා සුපින ජාතකයයි.

විදුලි බල්බ 60,000 කින් තොරණ වර්ණවත් වුණි.

දෙමටගොඩ තොරණ මෙවර 46 වන වරට ප්‍රදර්ශනය කෙරුණු අතර යසෝදරා චරිතාපදානය එහි නිරූපනය කෙරුණි.

විශාලා මහනුවර ඇතිවූ තුන්බිය පිළිබඳ කියැවෙන රතන සූත්‍රය පිළිබිඹු කරන රාජගිරිය තොරණ ඊයේ රාත්‍රියේ ප්‍රදර්ශනය කෙරුණි.

සෑම වර්ෂයකම මහරගම නගරයේ ප්‍රදර්ශනය කරන දර්ශනීය තොරණින් මෙවර නිරූපනය කෙරුණේ කාලීයක්ෂණී කථා පුවතය.

අතුරුගිරිය එක්සත් වෙළෙඳ හා ව්‍යාපාරික සුබසාධක සමිතිය විසින් 16 වැනි වරටත් ඉදිරිපත් කරන තොරණ අතුරුගිරිය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙවරත් ප්‍රදර්ශනය කෙරේ.

ඉන් නිරූපණය කෙරෙන්නේ මහා මයුර ජාතකයයි.

මේ අතර කොට්ටාව එක්සත් වෙළෙඳ සංගමය 21 වැනි වරටත් සංවිධාන කරන තොරණ ඊයේ රාත්‍රියේ කොට්ටාව බස් නැවතුම්පොළ ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණි.

ලංකාවේ විශාලතම තොරණ මෙවර ඉදිකර ඇත්තේ පානදුර නගරයේය.

එය උස අඩි 65ක් සහ පළල අඩි 60කින් යුක්ත වන අතර විදුලි බල්බ 80,000ක් ඒ සඳහා යොදා ගෙන තිබේ.

පානදුර එක්සත් පොදු වෙළෙඳ බෞද්ධ සංගමය මෙවර තොරණ ඉදිකර තිබෙන්නේ 65 වැනි වරටය.