අභියාචනාධිකරණය නිකුත්කළ අතුරු තහනමක් ඉවත්කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට

අභියාචනාධිකරණය නිකුත්කළ අතුරු තහනමක් ඉවත්කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට

May 2, 2023   05:48 pm

රාජ්‍ය සේවයේ නියුතු හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත්කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත්කර තිබේ.

එම අභියාචනා පෙත්සම අද (02) මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකාබැලීම සඳහා ලබන 09 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත්කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණය හෙද සේවයේ නියුතු විශේෂ ශ්‍රේණිය, පළමුවන ශ්‍රේණිය සහ විධායක ශ්‍රේණියේ හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත්දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

ඉකුත් අප්‍රේල් මස 4 වනදා නිකුත්කළ එම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බව සඳහන් වෙයි.

අභියාචනාධිකරණය විසින් එම අතුරු තහනම් නියෝගය නිකුත්කළ ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය ඉවත්කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනා පෙත්සමෙන් ඉල්ලා තිබේ.