රෝහලේදී සිදුකළ ඝාතනයට දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

රෝහලේදී සිදුකළ ඝාතනයට දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

May 2, 2023   04:51 pm

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තරුණයකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, ඊට දින දෙකකට පෙර එම තරුණයාට පහරදී තුවාල සිදුකළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු බව කියන දෙදෙනෙකු බව මැදවච්චිය පොලීසිය පවසයි.

මෙලෙස සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී ඇත්තේ, ටෙලිකොම් පාර, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සහ මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථාන පාරේ පදිංචි 23 හැවිරිදි කාන්තාවකි.

මොවුන් දෙදෙනා අඹුසැමියන් බවද පොලීසිය පවසයි.

ප්‍රේම සම්බන්ධයක් මුල් කරගනිමින් මැදවච්චියේ ප්‍රබල හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසක් අතර පසුගිය 26 වනදා ගැටුමක් හටගෙන තිබුණි.

එහිදී මැදවච්චිය අංක 15 මන්නාරම් පාර ලිපිනයේ පදිංචි 24 හැවිරිදි රුවන් ගීත් උදිත නැමති තරුණයකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

එහි මහාචාර්ය ඒකකයේ පිහිටි 66 වන වාට්ටුවේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 28 වනදා අලුයම 4:30 ට පමණ කපාකොටා ඝාතනය කර තිබුණි.

එම වාට්ටුවට ඇතුළු පුද්ගලයකු තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර පළාගොස් තිබුණි.

සිද්ධියට සම්බන්ධ බවට සැකපිට තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, අත්අඩංගුවට පත් අඹැසැමි යුවළ අද (02) මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මැදවච්චිය පොලීසිය පැවසීය.