ඉන්දියාවේ සිට පැමිණි ගුවන්යානයක් හදිසියේම මත්තල ට

ඉන්දියාවේ සිට පැමිණි ගුවන්යානයක් හදිසියේම මත්තල ට

April 28, 2023   07:17 pm

කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයට අද (28) පස්වරු 04.00 සිට ඇදහැලෙන තද වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන්, කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන්යානයක් මත්තල ගුවන්තොටුපොළ වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

ඉන්දියාවේ චෙන්නායි සිට පස්වරු 04.10 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණෙමින් තිබූ ෆිට්ස් එයා ගුවන් සේවයේ 8 ඩී 834 දරන ගුවන්යානය, මත්තල ගුවන්තොටුපොළ වෙත යොමුකිරීමට ඒ අනූව පියවර ගෙන තිබේ.

එහි මගීන් 143 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටි අතර ඔවුන් රැගත් මෙම ගුවන් යානය පස්වරු 05.00 ට පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවූ බව එම ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය යහපත් වූ පසු එම ගුවන්යානය යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත යොමුකිරීමට පියවර ගන්නා බව මත්තල ගුවන්තොටුපොළේ නිලධාරින් පැවසීය.