චෝ ගෙන් යළිත් චෝදනාවක්
April 23, 2023 08:16 pm
කොරියානු ආයෝජන සහ ව්‍යාපාර අවස්ථා මෙරටට ගෙන ඒමට වසර ගණනාවක සිට වෙහෙසී වැඩ කළත් ඊට මෙරට දේශපාලනඥයින්ගෙන් සහ බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාර නොලැබුණු බව දකුණු කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සුන්ග් ලී මහතා පවසයි.
මෙරටට පැමිණ සිටින ඒ මහතා "අද දෙරණ" සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ තමා තවදුරටත් ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා ගෙන ඒම සඳහා පෙනී සිටියත් ඊට රජයෙන්ද සහාය ලබාදිය යුතු බවය.
දකුණු කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සුන්ග් ලී මහතා වසර 8කට පමණ පෙර සිට ශ්‍රී ලංකාව සමග සබඳතා පවත්වන අතර අවස්ථා 20කදී පමණ ඔහු මෙරටට පැමිණ තිබුණේ කොරියානු තාක්ෂණය මෙරටට ලබාදෙමින් මෙරට තුළ නව ආයෝජන අවස්ථා හඳුන්වා දීමටය.
පසුගිය දෙසැම්බර් මාසයේදීත් ලංකාවට පැමිණි ඔහු කොළඹ පැවැති වැඩසටහනකදී ''ප්‍රමාදය'' යන මාතෘකාව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක්, ලංකාව තුළ ආන්දෝලානාත්මක තත්ත්වයක් ඇති කළේය.
මෙවැනි පසුබිමක චෝ මහතාගේ මැදිහත්වීම මත ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් දෙදෙනෙක් වන විශ්ව ද සිල්වා සහ රංජිත් ගමගේ යන මහත්වරුන් පසුගිය මාර්තු මාසයේ දකුණු කොරියාවට ගොස් ඇති අතර එහිදී ඔවුන් චෝ සුන්ග් ලී මහතා සමග මෙරට තුළ සිදුකළ හැකි ආයෝජන සහ ව්‍යාපාර අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන කොරියානු සමාගම් 19ක් මෙරට තුළ ආයෝජනය කිරීම සඳහා කැමැත්ත පළ කර තිබේ.
ඒ අනුව, විදුලි යතුරු පැදි සහ ත්‍රීරෝද රථ නිෂ්පාදනය, සෝලා තාක්ෂණය වැඩිදියුණු කිරීම, පරිසර හිතකාමී ජෛව රසායන නිෂ්පාදනය, අපවිත්‍ර ජලය පානය කළ හැකි මට්ටම දක්වා පවිත්‍ර කරන පද්ධති ඇතුළු ක්ෂේත්‍ර රැසක ව්‍යාපෘති අන්තර්ගතය.
නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා චෝ සුන්ග් ලී මහතා යළිත් වරක් පසුගිය අප්‍රේල් 18 වැනිදා මෙරටට පැමිණියේය.
ඔහු "අද දෙරණ" හා සම්බන්ධ වෙමින් මෙරට තුළ දියත් කිරීමට නියමිත ව්‍යාපාර සැලසුම් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණ කළේය.
"ව්‍යාපාර කිහිපයක් තියෙනවා. රජය සමග කළයුතු ව්‍යාපාරත් තියෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාර හැටියට කළ යුතු ව්‍යාපාරත් තියෙනවා. ඒ වගේම පෞද්ගලික ව්‍යාපාරත් ඒ අතර තියෙනවා. මේ හැම ව්‍යාපාරයක්ම ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන් කියලා හඳුන්වන්න පුළුවන්."
මාධ්‍යවේදියා - කොතැන හෝ බාධාවක් සිදුවෙලා තියෙනවාද ?
"දේශපාලනඥයන්ට ව්‍යාපාරවලට මම ආරාධනා කළා. ආරාධනා කරපු අවස්ථාවලදී ඒ අය ගොඩක් සතුටු වුණා ඒ පිළිබඳව අහලා. ඒ වේලාවේදීම ඒක කරනවා කියලා තමයි ඒ අය මාත් එක්ක කතා කළේ. නමුත් කිසිම දෙයක් ඒ අය කළේ නැහැ. ඒ අනුව අවුරුදු 8ක් පුරාවට මම හිතුවා අපේ ශ්‍රී ලාංකිකයින් කතාකරන දේ සහ කරන දේ වෙනස් කියලා. ඒ අනුව දේශපාලනඥයින් සහ ජනතාව එකතු වෙලා වැඩ කළොත් මේ රටට ශක්තියක් දෙන්න පුළුවන් කියලා මම හිතනවා"
චෝ සුන්ග් ලී මහතා එළැඹෙන මැයි 7 වනදා යළි කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.
ඊට පෙර ශ්‍රී ලංකාවට කොරියානු ආයෝජන අවස්ථා ලබාගැනීමට දැන්වත් මෙරට බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු නොවේද ?