බිරිඳව පැහැර ගත් සැමියා පොලීසියට භාරවෙයි
April 22, 2023 02:26 pm
හලාවත, මුනුවන්ගම ප්‍රදේශයෙදී සිය බිරිඳ පැහැරගත් සැමියා අද (22) හලාවත පොලීසියට භාරවී තිබේ.
ඒ, පසුගිය 19 වනදා ඔහු විසින් පැහැරගත් 18 හැවිරිදි විවාහක තරුණ බිරිඳ ද සමගිනි.
ඒ අනුව අදාළ කාන්තාවගේ සැමියා බව කියන දඹුල්ල ප්‍රදේශයේ 21 හැවිරිදි සැකකරුව හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිවසේ සිටි තම දියණියව පැහැරගෙන ගිය බවට අදාළ කාන්තාවගේ මව්පියන් විසින් හලාවත පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව හලාවත මුලස්ථාන පොලීසියේ කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.
පොලිස් කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් තිබුණ ද සැකකාර සැමියා හා පැහැර ගැනීමට ලක්වු තරුණ කාන්තාව සොයා ගැනීමට නොහැකිවීම නිසා සැකකරුගේ ඥාතියකු පොලිස් භාරයට ගෙන තිබුණි.
ඉන්පසු සැකකාර තරුණයා අදාළ කාන්තාව ද සමග පොලීසියට පැමිණ තිබේ.
පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ අදාළ තරුණ කාන්තාව පැහැර ගැනීමෙන් පසු කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවය.
මෙම පැහැර ගැනීම සැකකරුගේ බාප්පා විසින් සැලසුම් කර ඇති බවටත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
ඒ අනුව මෙම සැකකරුගේ බාප්පා අදාළ සැලසුම සකස් කර පැහැර ගැනීමටද පැමිණ ඇති බව කියයි.
පොලීසිය පවසන්නේ මෙම බාප්පා නමැති සැකකරු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ලවී ඇති බවය.
එම චෝදනාවලට සැකකරු මෑතකදී බන්ධනාගාරගතව සිට පැමිණ ඇති බවත් ඔහුට පතාල කල්ලි සමග සම්බන්ධකම් පවත්වන බවත් පොලීසිය අනාවරණය කරගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.
මේ වනවිට පැහැර ගැනීමට ලක්වු තරුණ කාන්තාව රෝහල්ගත කර ඇති බවත් ඇය බරපතළ මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බවත් පොලීසිය පවසයි.
පැහැර ගැනීමේ සිද්ධියෙන් පසු ඇය දැඩි භීතියකට පත්වී සිටින බවත් මෙය පැහැර ගැනීමක් නොවන බවට පොලීසියට පවසන ලෙසට සැකකරුවන් ඇයට තර්ජනය කර ඇති බවත් සඳහන් ය.
එසේ පැහැර ගැනීමක් බව පැවසුව හොත් සිරගතව සිට පැමිණ ඇයව සහ ඇයගේ මව්පියන්ව මරාදමන බවටත් තර්ජනය කර ඇති බව ඇය පොලීසියට පාපොච්චාරණය කර තිබේ.
මෙම පැහැර ගැනීමට සම්බන්ධ සැකකාර තරුණයාගේ පියා, බාප්පා ඇතුළු පස් දෙනෙකු එක්වී ඇති බවත් ඔවුන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් කාන්තාව පැහැර ගැනීමට යොදාගත් වෑන් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවත් එය පොලිස් කොස්තාපල්වරයෙකු විසින් කුලී පදනමට වාහන ලබාදෙන ආයතනයකට ලබාදී තිබූ එකක් බවය.
හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩී. එස්. පද්මකුමාර මහතාගේ මෙහෙයවීමෙන් විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂක එම්. දමිත් පෙරේරා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් පරීක්ෂණ සිදුකරයි.