හෙට විරෝධයට අධිකරණය දුන් නියෝගය

හෙට විරෝධයට අධිකරණය දුන් නියෝගය

April 20, 2023   06:24 pm

මීගමුව සේල්ලන්දූව මංසන්ධිය ආශ්‍රිතව හෙට (21) ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති පෙළපාලියකට එරෙහිව ආඥාවක් නිකුත් කරන ලෙස පොලීසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ ඉල්ලීම සලකා බැලූ මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත.

එමගින් පොලීසිය පවසා ඇත්තේ අදාළ පෙළපාලිය මගින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකරන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් විසින් සංවිධානය කර ඇති ව්‍යාපාරයට සමගාමීව දේශපාලන අරමුණු ඉටුකරගැනීමට මහජන කැළඹීමක් ඇතිකිරීමට උත්සාහ දරනු ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවය.

එහිදී පොලීසිය වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති රැස්වීම නිත්යානුකූලව සුදුසු මහජනතාවට රැස්විය හැකි ක්‍රීඩා පිටියක හෝ ස්ථානයක් වෙන්කරවාගෙන සිදුකිරීමටත් සාමය ආරක්ෂා කිරීමටත් ආඥාවක් නිකුත් කර ලෙසය.

ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ එවැනි ආඥාවක් නිකුත් කිරීමට ඉදිරිපත් වී ඇති කරුණු ප්‍රමාණවත් නොවන බවය.

කෙසේ වෙතත් යම් හෙයකින් මහජන දේපළවලට, මහජනතාවට හෝ පෞද්ගලික දේපළවලට හානියක් සිදුවන  සිදුවන්නේ නම් වහාම ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට පොලීසියට හැකි බවද අධිකරණය සිය නියෝගයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.