ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

April 14, 2023   03:00 pm

2023 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පස්වරු 2.59ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය.

ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ පස්වරු 3.29 ටය.

විචිත්‍රවත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා, දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල හා විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම සිදු කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභ කිරීමේ නැකත යෙදී ඇත්තේ අද පස්වරු 5.05 ටය.

එම නැකැත් වේලාවේදී ද විචිත්‍ර වර්ණ වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන් ය.

අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 16 වන ඉරිදා පෙරවරු 9.41 ට යෙදී තිබේ.

එහිදී රතු සහ කහ මිශ්‍ර වර්ණ එනම් තඹ පැහැති වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කළ යුතු බව සඳහන් ය.

අලුත් අවුරුද්දේ රැකීරක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 17 වන සඳුදා පෙරවරු 6.28 ටය.

සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී, දී කිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම සුබ බවට නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

අලුත් අවුරුද්දේ ප්‍රථම නැකත ලෙස අද පෙරවරු 8.35 ට පුණ්‍යකාලය උදාවුණි.

ඒ අනුව අද පෙරවරු 8.35 ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සම්ප්‍රදායිකව සිදු කෙරුණි.