පොලිස් සැරයන් මාලයක් කොල්ලකයි

පොලිස් සැරයන් මාලයක් කොල්ලකයි

April 11, 2023   09:10 pm

කාන්තාවක් ගෙල පැළැඳ සිටි මාලයක් කොල්ලකා පළායමින් සිටි පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකාර නිලධාරිනියකගේ ගෙල තිබූ රුපියල් 50,000ක් පමණ වටිනා  මාලයක් මෙලෙස කොල්ලකා තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුවය.

අදාළ කාන්තාව අද (11) පෙරවරුවේ රාජකාරිය සඳහා බස් රථයකින් පැමිණ සුහුරුපාය සුපිරි වෙළෙඳ සංකීර්ණය අසල බස් රථ නැවතුමෙන් බැස මද දුරක් ඉදිරියට යාමත් සමගම ඒ අසල සිටි පුද්ගලයකු එකවරම ඇය වෙත කඩා වැදී ගෙල පැළඳ සිටි මාලය රැගෙන පළාගොස් තිබුණි.

එහිදී ඇයගේ කෑගැසීමත් සමග අවට සිටි පුද්ගලයන් එම පුද්ගලයා පසුපස හඹා යාමේදී, රථවාහන රාජකාරියේ යෙදී සිටි තලංගම පොලීසියේ නිලධාරියෙකු සැකකරු පසුපස හඹා ගොස්  අල්ලාගෙන තිබේ.

අනතුරුව එම පුද්ගලයාව සුහුරුපාය පොලිස් මුරපොළ වෙත රැගෙනගොස් තලංගම පොලීසිය ට භාරදී ඇත.

සැකකරුගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී, ආර්ථික අපහසුකම් මැද නැන්දම්මාගේ රන්මාලය උකස් තැබූ බවත් එය බේරාදෙන ලෙස ඇය නිතරම ඇවිටිලි කරන බැවින් මෙම කොල්ලය සිදුකළ බවට සැකකරු පැවසූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

කෙසේවෙතත් සැකකරු සිදුකරන ලද ප්‍රකාශය පිළිගත නොහැකි බවත් කොල්ලකෑම සඳහා සැකකරු තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් හෝ පැමිණෙන්නට ඇතැයි සැකකරන බව පොලීසිය කියයි.

සිද්ධියට මුහුණ තුන් කළමනාකාර නිලධාරිනිය පොලීසියට පවසා ඇත්තේ රන් පැහැති එම මාලය රුපියල් 50,000ක් පමණ වටිනා බවත් කොල්ලකරුවන් නිසා තමන් පුරුද්දක් ලෙස රන් ආභරණ නොපළඳින බවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට පදිංචිකරුවෙකි.