අවුරුදු සමයේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

අවුරුදු සමයේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

April 11, 2023   09:36 am

අවුරුදු සමයේ සිදුකරන ක්‍රියාකාරකම්වලින් සිදුවිය හැකි හානි අවම කරගැනීම සඳහා ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

එහි සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින්නේ ගිනිකෙළි භාවිතය සඳහා කුඩා දරුවන්ට ඉඩ ලබා නොදෙන ලෙසය.

"වෙනදා අපි දැක්කා රතිඤ්ඤා සහ ගිනිකෙළිවලින් සිදුවන අනතුරු. මේ අවුරුදු දෙක තුන තුළ අපි දැක්කා වෙනත් අනතුරුවලත් ප්‍රවණතාවයක්. ප්‍රධාන වශයෙන් රිය අනතුරුවල වැඩිවීම නිසා සිදුවන අනතුරු, ඊට අමතරව ගෘහස්ත කටයුතු. ඒ කියන්නේ, ගෙදර සිදුවන ඉතාම සුළු දේවල්. උදාහණයක් වශයෙන් තණකොළ කපන යන්ත්‍ර නිසා සිදුවන හානි. අවුරුද්දට අපි ලෑස්ති වෙනවා. අපි ගෙදර අලුත්වැඩියා කටයුතු කරනවා පුරුදු නැති පුද්ගලයින්. ඇණයක් ගැසීමෙන් සිදුවන අනතුරු වගේ දේවලුත් අපි බහුලව දැක්කා. ඊට අමතරව කලකෝලහල, මද්‍යසාර නිසා සිදුවන අනතුරු ප්‍රමාණයකුත් අපි යම්තාක් දුරට දැක්කා. ගිනිකෙළි සහ බොහෝ අනතුරුවලට ලක්වන්නේ කුඩා දරුවන්, පිරිමි දරුවන් ඊට අමතරව තරුණයින්. මේ අනතුරුවලින් ඇසට සිදුවන අනතුරු වැඩියි. බොහෝ අවස්ථාවලදී අන්ධභාවයට පත්වීම සිදුවෙනවා. එහෙම නැත්නම් ස්ථීර වශයෙන්ම පෙනුම අඩුවෙනවා. ගිනිකෙළි නිසා අනතුරු නිසා අපි දකිනවා 46%ක් වගේ අත් හා ඇඟිලිවලට සිදුවන හානි, 17%ක් වගේ මුහුණට සිදුවන හානි සහ 17%ක් ඇස්වලට හානි වෙනවා. විශේෂයෙන් මුහුණ පිළිස්සෙනවා. අහේ කළු ඉංඟිරියාව වගේ හානි වෙනවා. ඊට අමතරව කම්පන තරංග නිසා ඇහේ අභ්‍යන්තරයට හානි සිදුවෙනවා. ඇහැ පිපිරීමකට ලක්වෙන්න පුළුවන්. එකම දේ නොසැලකිල්ල, දෙවැනි දේ තමයි අනවශ්‍ය අවදානමක් ගැනීම, තුන්වැනි දේ තමා නොදැනුවත්කම. අනිවාර්යයෙන්ම දරුවන්ට ගිනිකෙළි භාවිත කිරීමට ඉඩදෙන්න එපා. වැඩිහිටි ඔබේ ජීවිතයට නිවැරදි කළ නොහැකි කැළැලක් ඉතිරිවෙන්න පුළුවන් මේ අවුරුදු සමයේ සිදුකරන සුළු ක්‍රියාවකින්."