ජීවිත සියගණනක් බේරාගත් වීරයෙක්
April 9, 2023 09:27 pm
කෙනෙකුගේ විමසිලිවන්ත දෑසකට පුළුවන් මහා අනතුරක් වළක්වා ගන්නට.
සිදුවන්නට ගිය දැවැන්ත දුම්රිය අනතුරක් එලෙස වළක්වාගත් අයෙකුගේ වීර ක්‍රියාවක් අපට වාර්තා වන්නේ හපුතලේ ප්‍රදේශයෙනි.
උඩරට දුම්රිය මාර්ගයේ, හපුතලේ සහ ඉදල්ගස්හින්න ප්‍රෙදේශ අතර හපුතලේ දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය මාර්ගයට ඊයේ (08) රාත්‍රියේ විශාල ගසක් කඩා වැටී තිබුණි.
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය, මගීන් 600 කට අධික පිරිසක් ද රැගෙන එමින් තිබුණේ ඒ අතරතුරය.
දුම්රිය මාර්ගයට ගස කඩා වැටී තිබෙනු දුටු, එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විජේරත්න මහතාට දුම්රිය ඈතින් එන හඬ ඇසී තිබේ.
වහා ක්‍රියාත්මක වන ඔහු සිය විදුලි පන්දම අතැතිව දුම්රිය රියදුරුට අනතුරක් පිළිබඳ සංඥාව ලබා දෙන්නේ එවෙලහි පැවති දැඩි අඳුර සහ මීදුම ද මැදය.
අනතුර වළක්වාගත් H.M.විජේරත්න මහතා අද දෙරණට මෙලෙස අදහස් දැක්විය.
"ගහේ සද්දේ ඇහුණා වැටෙන සද්දේ. ඊට පස්සේ මට කෝච්චියේ හෝන් එකේ සද්දේ ඇහුණා. මම දුවගෙන ගියා. ටෝච් එක ගහගෙන හොල්ල හොල්ල හිටියා. කෝච්චිය නතර කරන කල්. ටක් ගාලා ඩ්‍රයිවර් මහත්තයාට පින් සිද්ධවෙන්න නවත්ත ගත්තා. මගේ ජීවිතේ ගැන මම හිතුවේ නෑ. කෝච්චියේ ජීවිත ගැන තමා මම හිතුවේ. මම තනි එකානේ. හොඳ වෙලාවට මහත්තයෝ කෝච්විය ළඟට ම ඇවිත් නැවැත්තුවේ."
මගීන් 600 කට අධික පිරිසකගේ ජීවිතවලට හානියක් නොවී මහා ඛේදවාචකයක් විජේරත්න මහතාගේ නොපසුබට උත්සාහය නිසා වැළකී ගියේ ඒ අයුරිනි.
දුම්රිය රියදුරු පවසා සිටියේ ඔහු සිදුකළ ක්‍රියාව අගය කළ යුතු බවත් නැතිනම් විශාල හානියක් සිදුවීමට ඉඩ තිබූ බවත්ය.
