ගැබිනිය මිය ගියේ බෙහෙත නිසා ද ?

ගැබිනිය මිය ගියේ බෙහෙත නිසා ද ?

April 9, 2023   08:21 pm

සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී භාවිත කරන ඖෂධයක් ලබාදීමෙන් පසු ඇති වූ සංකූලතාවයකින් ගැබිනි කාන්තාවක් මිය ගිය බව කියන පුවතක් පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් පසුගියදා වාර්තා විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය "අද දෙරණ" ට සඳහන් කළේ දැනටමත් අදාළ ඖෂධය භාවිතය අත්හිටුවා මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විමර්ශන කණ්ඩායමක් පේරාදෙණිය රෝහල වෙත පිටත් කර හැර ඇති බවය.

මෙලෙස ගැබිනි මව මිය ගොස් ඇත්තේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා,  

"අප්‍රේ 02 නිර්වින්දන ඖෂධයක සංකූලතා ඇති බව රෝහල කියනවා. ඒ ඖෂධය තාවකාලිකව අත්හිටුවනවා. මේ ඖෂධය ගැන ලබාදී ඇති වාර්තාව මොකක්ද ?. අනිවාර්යයෙන්ම විමර්ශනය කළ යුතුයි. මේ ඖෂධය මුලින් මෙරට තුළ ලියාපදිංචි කරලා පසුව ලියාපදිංචිය අහෝසි කරපු ඖෂධයක්."

මේ අනුව ගැබිනි කාන්තාවකගේ සංකූලතාවට හේතු වූ බව කියන ඖෂධය හා එම සිද්ධිය සම්බන්ධයෙන් "අද දෙරණ" සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතියික සත්කාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා බැවසුවේ එම අදාළ ඖෂධය භාවිතය කිරීම තාවකාලිකව නවතා ඇති බවත් එහි සාම්පල් පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බවත්ය.

"ඖෂධය භාවිතය තාවකාලිකව නවත්වලා සාම්පල් අරගෙන පරීක්ෂණයක් කරනවා. මේ වනවිටත් විමර්ශන කණ්ඩායමක් රෝහල වෙත යැව්වා. ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ."