වකුගඩු ජාවාරමේ විමර්ශන ප්‍රමාදයි

වකුගඩු ජාවාරමේ විමර්ශන ප්‍රමාදයි

April 5, 2023   01:08 pm

"අද දෙරණ" උකුස්සා අනාවරණ කළ බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන මන්දගාමී වී තිබේ.

අප කළ සොයාබැලීමේදී අනාවරණ වුණේ රෝහලේ සේවය කරන කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශන අඩාළ වීම නිසා එම තත්ත්වය උද්ගතවී ඇති බවය.

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් "අද දෙරණ" උකුස්සා රටතුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් අනාවරණයක් සිදුකළේය.

ඒ අනුව එහි විමර්ශන සිදුකිරීම පැවරුණේ කොළඹ අපරාධ කොට්ඨාසයටය.

එහි ප්‍රතිඵලයක් ලෙස ආධාර අනුබල දුන් ග්‍රමානිලධාරීන් පිරිසක් ඇතුළු රෝහල් සේවකයන් 10ක් පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අදාළ රෝහලේ කාන්තාවන් දෙදෙනෙකු විසින් වකුගඩු ලබාදුන් පුද්ගලයන් හා තැරැව්කරුවන් සම්බන්ධ කරගනිමින් අදාළ ජවාරම සිදුකර ඇති බවය.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය තවමත් අපොහොසත් වී තිබේ.

අදාළ කාන්තාවන් දෙදෙනාගෙන් පොලීසියට වැඩිදුර ප්‍රශ්න කිරීමට පවා නොහැකි වී ඇතැයි වාර්තා වේ.

එම නිසා අදාළ විමර්ශන සිදුකිරීම ඇණහිට ඇති හෙයින් වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන රෝහලේ තවත් ප්‍රධානීන් පිළිබඳව ද පොලීසිය විමර්ශන සිදුකිරීමට නොහැකි වී තිබේ.

විමර්ශන නිලධාරීන් මේ පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා තෙක් "අද දෙරණ" අවධානයෙනි.