වසරේ රූපවාහිනී නාළිකාව අඛණ්ඩව 6 වන වරටත් - TV දෙරණ

වසරේ රූපවාහිනී නාළිකාව අඛණ්ඩව 6 වන වරටත් - TV දෙරණ

March 27, 2023   10:50 pm

TV දෙරණ 2023 ස්ලිම් කැන්ටර් සම්මාන උළෙලේදී අඛණ්ඩව හය වන වරටත් වසරේ රූපවාහීනි නාළිකාවට හිමි ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය.

එසේම ස්ලිම් කැන්ටර් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව පස් වන වරටත් ජනතාවගේ ප්‍රවෘත්ති සපයන්නා ලෙස සම්මානයට පාත්‍ර වුණේ 'අද දෙරණ' යි. 

2023 ස්ලිම් කැන්ටර් ජනතා සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාර්ච් ඉම්පීරියල් හෝටලේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ය.

ස්ලිම් කැන්ටර් 2007 වසරේ සිට වාර්ෂිකව ජනතා විශ්වාසය දිනූ සන්නාම වෙත සම්මාන ප්‍රදානය කරන අතර එම සම්මානවල විශේෂත්වය වන්නේ ඒවා පාරිභෝගික මනාපය මත පදනම්ව සමීක්ෂණයක ප්‍රතිඵල අනුව තීරණය වීම නිසාය.

මෙහිදී කැන්ටර් ආයතනය මෙම සම්මාන වෙනුවෙන් සන්නාම නිර්දේශ කෙරුණු විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කළේය.

මෙහිදී තාරුණ්‍යයේ හදගැස්ම මනාව වටහාගත් නාළිකාව බව නැවතත් සනාථ කරමින් TV දෙරණ තාරුණ්‍යයේ රූපවාහිනී නාළිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණි.

එමෙන්ම අඛණ්ඩව පස්වන වතාවටත් ජනතාවගේ රූපවාහිනී නිවේදකයා ලෙස චතුර අල්විස් ස්ලිම් කැන්ටර් ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඔහු වෙනුවෙන් සම්මානය ලබාගත්තේ අද දෙරණ ප්‍රවෘත්ති නිවේදිකා ඩිල්කා සමන්මලීය.

මෙහිදී වසරේ ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මානය හිමිකරගනු ලැබුවේ TV දෙරණ ඔස්සේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රංගන ශිල්පි රවීන් කණිෂ්කය.

අපේ දේ රැකගෙන - අලුත් දේ අරගෙන ප්‍රේක්ෂකයන් අතරට යමින් ඔවුන්ගේ දැනුම, ආකල්ප හා රසවින්දනය වෙනුවෙන් සෑමවිටම නැවුම් අත්දැකීම් තිළිණකරන TV දෙරණ ස්ලිම් කැන්ටර් සම්මාන උළෙලේ වසරේ ජනතාවගේ රූපවාහිනී නාළිකාව ලෙස මෙවරත් සම්මානයට පාත්‍ර වුණි.

TV දෙරණ මෙම සම්මානය අඛණ්ඩව හිමිකරගත් හයවන අවස්ථාව මෙය වේ.

ස්ලිම් කැන්ටර් සම්මාන උළෙලේ ජනප්‍රියතම මහජන සම්මානය හිමි පුවත්පත ලෙස ලංකාදීප මෙවරත් සම්මාන දිනාගත් අතර ලංකාදීප එම සම්මානය දිනාගත්තේ අඛණ්ඩව 17 වැනි වතාවටය.

එමෙන්ම 2023 ස්ලිම් කැන්ටර් සම්මාන උළෙලේදී වසරේ තාරුණ්‍යයේ රංගන ශිල්පියා ලෙස හේමාල් රණසිංහ සම්මානයට පාත්‍ර වූ අතර තාරුණ්‍යයේ රංගන ශිල්පිනිය ලෙස ශලනි තාරකා සම්මාන හිමිකර ගත්තාය. 

ජනතාවගේ ගායන ශිල්පිනිය ලෙස ශෂිකා නිසංසලා සම්මානයට පාත්‍ර වූ අතර ජනතාවගේ ගායන ශල්පියා ලෙස චාමර වීරසිංහ සහ ශිහාන් මිහිරංග සම සම්මානයට පාත්‍රවුණි.

මෙහිදී ජනතාවගේ රංගන ශිල්පිනිය ලෙස හෙළයේ නිළි රැජින මාලිනී ෆොන්සේකා හා ශලනි තාරකා සම සම්මාන දිනාගත්තාය.

2023 ස්ලිම් කැන්ටර් සම්මාන උළෙලේ ජනතාවගේ රංගන ශල්පියා ලෙසින් රංජන් රාමනායක සම්මානයට පාත්‍රවුණි.

TV දෙරණ අලුත් වන නවීන තාක්ෂණය සමඟ මුසුවෙමින් නව්‍යකරණයට ලක්වනවා සේම අද දෙරණ රටේ ලෝකයේ යාවත්කාලීන වන ප්‍රවෘත්ති එසැනින් ගෙන ආවේ ප්‍රේක්ෂක ඔබේ විශ්වාසය සහ ආදරය ද දිනෙන් දින ඉහළ නංවාගනිමිනි.

මෙලෙස ජනතා සම්මාන ලැයිස්තුවේ අඛණ්ඩව වසර හයක් TV දෙරණ සහ අද දෙරණ සන්නාමය ඉහළින්ම ඔසවා තැබූ ඔබට දෙරණ මාධ්‍ය ජාලයේ උත්තමාචාරය !