ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නේ බලය රැකෙන කල් විතරයි - අනුර
March 26, 2023 10:25 pm
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලකයින්ට වාසි සහගත අයුරින් භාවිත කරන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමිනි.
"විසඳුම මාලිමාව" යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ පානදුර ජන රැලිය එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ පැවැත්වුණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා,
" දැන් පසුගිය ජනාධිපතිවරණ ඡන්දය බැලුවොත් අපි ගම්වලට ඇවිත් කියනවා මේ රාජපක්ෂලා හොරකම් කළා, රට විශාල කඩා වැටීමකට ලක් කරලා කියලා අපි 2019 ජනාධිපතිවරණ වේදිකාවේ කියනවා. හැබැයි ඡන්දේ, ඡන්දේ අපිට 3% ක් ලැබුණා. ඒ අයට ලක්ෂ 69ක ලැබුණා. එතකොට ඒගොල්ලෝ මොකක්ද කියන්නේ. ඔයාලා හොරකම් කරනවා කිව්වාට ජනතාව අපිට ඡන්දේ දුන්නා. තමන්ගේ දූෂිත හා විනාශකාරී පාලනයට සුජාතභාවය ගත්තේ ජනතාව අනුමතකර ඇති මැතිවරණ ප්‍රතිඵලයෙන්. ඡන්ද ඕනේ වෙලා තිබුණේ ඒගොල්ලන්ට. ඇයි මේ සැරේ ඡන්දේ නැති වෙන්නේ. ඒගොල්ලන්ට ඡන්දේ නෑ. මාලිමාව ජයගන්න නියමිතව තිබුණා. බලය ලැබෙන්නේ නැතිනම් ඒගොල්ලන්ට තවදුරටත් ඡන්ද වැඩක් නෑ. ඒකනේ පෙන්නන්නේ. අපි කිව්වා රනිල් වික්‍රමසිංහට වරමක් නැහැ. ඔව් ජනවරමක් නැති එක ඇත්ත. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ ව්‍යවස්ථාවෙන්. ඒ කරලා හැම වේලාවේම අපිට මොකක්ද ව්‍යවස්ථාව තමා උත්තරීතර කියනවා. දැන් ව්‍යවස්ථාව කඩලා තියෙන්නේ කවුද ඒගොල්ලෝ. ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නේ ව්‍යවස්ථාව ඇතුළේ බලය රැකෙනකම් විතරයි. ඇයි දැන් මේ පස්සට අදින්නේ. මොකක් නිසාද? දීර්ඝ කාලයක් ඒගොල්ලන්ගේ අතේ තිබුණු බලය පොදුජන ව්‍යාපාරයකට මාරුවීමට නියමිත නිසා තමයි මේ වැඩේ කරන්නේ."