දුමින්දට දුන් සමාවට එරෙහි පෙත්සම් ගැන අධිකරණයෙන් නියෝගයක්
March 20, 2023 05:52 pm
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබේ.
එහිදී විනිසුරු මඩුල්ල විසින් වැඩිදුර පෙත්සම් විභාගය ලබන 30 වනදා තෙක් කල්තබා තිබේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි දුමින්ද සිල්වා මහතාට ලබාදුන් සමාව අභියෝගයට ලක් කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන මහත්වරු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.
එම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (20) යළි විභාගයට ගෙන ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකාර දුමින්ද සිල්වා මහතාට සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව සඳහන් කළේය.
කෙසේ වෙතත් අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපතිවරයා නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කර තිබෙන බවය.