නිමේෂයෙන් අළු වී ගිය පොත්පත්

නිමේෂයෙන් අළු වී ගිය පොත්පත්

March 20, 2023   01:26 pm

ආර්ථික ගින්නේ දැවෙමින් ඉන්න පුංචි දරුවන් පිරිසකගේ හීන නිමේෂයකින් අළු වී ගිය ඛේදනීය පුවතක් අපට වාර්තා වන්නේ, මහනුවර ප්‍රදේශයෙනි.

ආර්ථික අර්බුදයේ වඩාත් අසරණම වින්දිතයන් දරුවන්ය.

බත් පිඟානට විතරක් නොව, ඔවුන්ගේ අභ්‍යාස පොතට පැන්සලටත් එල්ල වී තියෙන්නේ මරු පහරකි.

පිටු 80ක පොතක් රුපියල් 150කටත් වැඩිවෙද්දි, පැන්සලක මිල අහස උසට යද්දි ඔවුන් අකුරට ගියේ අගහිඟකම් මැද සහ නොයාම බැරිකමටය.

අමිත් වීරසිංහ නමැති සමාජ සේවා පදනමක් මහනුවර අවට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙත අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩසටහනක් සංවිධාන කරන්නේ එවන් කාලයකය.

ඔවුන් මේ ගැන මාස කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ කළ දැනුම්දීමට අනුව අඩුආදායම්ලාභී පවුල් 15,000ක පමණ දරුවන් තමන්ට පොත් අවැසි බව දැනුම් දී තිබුණි.

ඒ අනුව, පළමු අදියරේ ප්‍රදානය සඳහා අවශ්‍ය සියලුම අභ්‍යාස පොත් එම පදනම් කාර්යාලයේ කල් ඇතිව සූදානම් කර තිබුණේ අද (20) උදෑසන එම පොත් දරුවන්ට බෙදා දීම සඳහාය.

පොත් පත් හිඟයක් නැතිව නිදහසේ ඉස්කෝලෙට යන බලාපොරොත්තු දල්වාගෙන දරුවන් විශාල පිරිසක් සිය මව්පියන් ද සමග අද උදේ එම කාර්යාලයට පැමිණ තිබුණි.

එහෙත් ඔවුන්ගේ ඒ හීන සියල්ලම එක් නිමේෂයකින් අළු වී ගියේ බෙදන්නට ගෙනා ඒ සියලු පොත් ගිනිගෙන තිබීම හේතුවෙනි.

"කරලා තියෙන්නේ තිරිසන් වැඩක්. දෙමව්පියෝ කීදාහකගේ බලාපොරොත්තු ද මේ ගිනි තියලා තියෙන්නේ" එම අවස්ථාවට පැමිණි සිටි දෙමාපියෙක් පැවසීය.

සමාජ සේවා පදනම පවසන්නේ ද, පොත් ගබඩා කර තිබූ ස්ථානයේ ජනේලයකින් ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ඇතුළු වී පොත්පත්වලට ගිනි තබා ඇති බවය.

"මේ කාර්යාලයට මීට කලින් ගල් ගහලා තියෙනවා. මේ හැම ජනේලයක්ම කුඩුවෙනකල් ගල් ගහලා තියෙනවා. හිතුවේ නෑ පොත් තියෙන නිසා මේ වගේ දෙයක් අපි හීනෙන්වත්. මොකද පොත් ගිනි තියයි කියලා."

රුපියල් දෙකෝටි හැට ලක්ෂයක පමණ පොත් ගින්නට දැවී තිබුණි. 

මහනුවර පොලිස් සථානය මගින් සිද්ධිය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය. 

චෝදනා එල්ලවන ආකාරයට, කිසියම් පිරිසක් මෙලෙස මේ පොත්වලට ගිනි තැබුවා නම්, ආර්ථික අර්බුදයෙන් බැටකන අහිංසක දරුවන්ගෙන් පළිගන්නට තරම් ඔවුන් ම්ලේච්ඡ වූයේ කෙසේද?

පොතකට පමණක් යැයි සිතා ඔවුන් ගිනි තබා ඇත්තේ අසරණ පුංචි දරුවෙකුගේ හිතකට බව ඔවුන්ට නොතේරෙන්නේ ද?

මේ පිළිබඳ සත්‍ය හෙළිකරගන්නා තෙක් මේ අහිංසක බලාපොරොත්තුවලට සාධාරණයක් ඉටුනොවනු ඇත.