උකුසූ ඇසට හසුවූ තවත් ජාවාරමක්

උකුසූ ඇසට හසුවූ තවත් ජාවාරමක්

March 19, 2023   08:04 pm

නීතිවිරෝධි අයුරින් සකස් කළ ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර අලෙවි කරන පුද්ගලයෙකු නීතියේ රැහැනට හසු කර දීමට "අද දෙරණ උකුස්සා" සමත් වුණි.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවය.

වැලි ප්‍රවාහනය සඳහා යොදාගන්නා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස්කරන ස්ථානයක් පිළිබඳව කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයෙන් "අද දෙරණ උකුස්සාට" තොරතුරු ලැබී තිබුණි.

ඒ පිළිබඳව ගවේෂණය කළ උකුස්සාට අනාවරණ වුණේ රුපියල් 2,000ක මුදලකට පුද්ගලයෙකු විසින් වැලි ප්‍රවාහන ව්‍යාජ බලපත්‍ර සකසා අලෙවි කරන බවය.

අනතුරුව අප මේ සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කාර්යාංශයට සහ පොලීසියට දැනුම් දුනි.

ඒ අනුව, මධ්‍යම රාත්‍රීයේ කුරුණෑගල ප්‍රදේශයේ ධාවනය කරමින් තිබූ වැලි ප්‍රවාහන ලොරි රථයක් භූවිද්‍යා හා පතල් කැනීම් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කරනු ලැබීය.
 
එහිදී අනාවරණ වුණේ එම ලොරි රථය සඳහා නිකුත් කර ඇති වැලි ප්‍රවාහන බලපත්‍රය ව්‍යාජ එකක් බවය.

එම රියදුරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කළේ එම ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් සකස් කර අලෙවි කරන බවය.

ඒ අනුව බලයලත් නිලධාරීන් සමග "අද දෙරණ උකුස්සා" ද සැකකරු සිටින නිවස වෙත ළඟා වුණි.

ඒ වනවිට මැදියම් රාත්‍රීය උදාවී තිබූ බැවින් භූ විද්‍යා හා පතල් කැනීම් නිලධාරීන් හා පොලීසිය සූක්ෂ්ම ලෙස අදාළ නිවසේ හිමිකරු සිය භාරයට ගෙන ප්‍රශ්න කළේය.

පසූව නිවසේ කාමරයක් තුළ වූ ඇඳක රහසිගත ස්ථානයක් විමර්ශන නිලධාරීන් විසින් පරීක්ෂා කළේය.

එහිදී ලැප්ටොප් පරිගණකයක් ඇතුළුව බලපත්‍ර සකස් කිරීමට සඳහා භාවිත කර ඇති ව්‍යාජ මුද්‍රා සහ ලිපි ද්‍රව්‍ය රැසක් සොයාගත්තේය.

වැඩිදුරටත් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ ඇතැම් දිනවල මොහු විසින් විශාල වශයෙන් ව්‍යාජ බලපත්‍ර සකසා වැලි ප්‍රවාහන ලොරි රථ සඳහා නිකුත් කර ඇති බවය.

මෙවන් නීතිවිරෝධී ක්‍රියා ඉදිරියේදීත් රට හමුවේ අනාවරණය කර නීතියේ රැහැනට හසු කරදීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.